සෞඛ්‍ය අවදානමක් ගැන වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීම්
මේ වනවිට වර්තමාන ලෝකයේ දරුවන් පෙර පරම්පරාවලට වඩා ශාරීරිකව අක්‍රිය වෙමින් පවතින බව අනාගත සෞඛ්‍යයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු ඇගවීමක් කර තිබේ .
මේ වන විට ලොව පුරා සෑම දරුවන් සහ යොවුන් වියේ පසුවන්නන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු අධික තරබාරුකමෙන් (Obesity) පෙළෙන අතර, එක තැනකට වී සිටින කාලය වැඩිවීම, මානසික ආතතිය, ආහාරවල ගුණාත්මකභාවය අඩුවීම සහ ක්‍රීඩාවලට යොමුවීම අඩුවීම මීට ප්‍රධාන හේතු ව වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව දරුවෙකු දිනකට අවම වශයෙන් විනාඩි 60ක ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත විය යුතුව තිබේ. ළමා වියේ පවතින අක්‍රියතාව වැඩිහිටි වියේදී ද අක්‍රිය පුද්ගලයෙකු වීමට බලපාන බවත් ඔවුන් සදහන් කර තිබේ.
පාසල් වියේදී ක්‍රීඩාවල නිරත වූවන් වයස අවුරුදු 70 වන විටත් වඩාත් සෞඛ්‍ය සම්න්නව සහ ක්‍රියාශීලීව පසු වූ බව දෙවන ලෝක යුද්ධයේ ප්‍රවීණයන් 712 දෙනෙකු ඇසුරින් වසර 50ක් තිස්සේ කරන ලද දීර්ඝකාලීන අධ්‍යයනයකින් හෙළි වී තිබේ .
ඒවගේම ශාරීරික ක්‍රියාකාරකම් මඟින් දරුවන්ගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) සහ ඉණ වට ප්‍රමාණය නිසි ලෙස පවත්වා ගැනීමට අමතරව, ඔවුන්ගේ බුද්ධිමය වර්ධනය සහ අවධානය යොමු කිරීමේ හැකියාව ද ඉහළ නංවන බව අමෙරිකාවේ රෝඩ් අයිලන්ඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය නිකොල් ලෝගන් පවසයි.
මහාචාර්ය ලෝගන් සහ කණ්ඩායම විසින් සිදුකළ මාස නවයක පර්යේෂණයකදී පාසලෙන් පසු සතියට දින 5ක් මධ්‍යස්ථ හෝ දැඩි ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත වූ තරබාරු දරුවන්ගේ බුද්ධිමය මට්ටම සහ ප්‍රතිචාර දැක්වීමේ වේගය, එවැනි ක්‍රියාකාරකම්වල නොයෙදුණු දරුවන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව තහවුරු වී තිබේ.
ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා තැන්පත් වන මේදය මඟින් ඇති කරන ප්‍රදාහයන් මොළයේ ක්‍රියාකාරිත්වය අඩපණ කරන අතර, ව්‍යායාම මඟින් එම මේදය දහනය වී මොළයේ ඒකාග්‍රතාවය සහ ධාරණ ශක්තිය වර්ධනය වේ.
ළමා තරබාරුකම වැළැක්වීම සඳහා දරුවන් අවට ඇති ආහාර පරිසරය වැඩිදියුණු කිරීම, තිර දෙස බලා සිටින කාලය සීමා කිරීම සහ නින්ද ක්‍රමවත් කිරීම අත්‍යවශ්‍ය බව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ සායනික මහාචාර්ය Ulla Toft ප්‍රකාශ කර තිබේ .
එක්සත් රාජධානියේ පාසල් 30ක් ආශ්‍රිතව කරන ලද මෑතකාලීන පර්යේෂණයකදී, ගුරුවරුන් විසින් දරුවන් එක තැන වාඩි වී සිටින කාලය අඩු කිරීමට පියවර ගෙන ඇත එහිදී ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී නැගී සිටීමට සැලැස්වීම සහ පන්ති කාමරය තුළ ඇවිදීමට ඉඩ දීම වැනි සරල වෙනස්කම් හේතුවෙන් දරුවන්ගේ උදරයේ මේද ප්‍රතිශතය 8% කින් අඩු වූ අතර, ක්‍රීඩාවලට ඇති උනන්දුව 10% කින් ඉහළ ගියේය.
"මෙය දැඩි ව්‍යායාම පිළිබඳ ප්‍රශ්නයක් නොව, එක තැන වාඩි වී සිටින කාලය අවම කිරීමේ වැදගත්කම" බවත් ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් හි Flaminia Ronca සඳහන් කර තිබේ.
ඒ වගේම ඇය පෙන්වා දෙන්නේ විනාඩි 30ක සරල ශාරීරික ක්‍රියාකාරකමකින් පසුව දරුවන්ගේ අවධානය සහ බුද්ධිමය කාර්ය සාධනය ක්ෂණිකව ඉහළ යන බවයි . තවද යොවුන් වියට එළඹෙන විට, ගැහැණු ළමයින්ගේ ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීමේ ප්‍රවණතාවක් ඇත.
ඒ වගේම බ්‍රිතාන්‍යයේ ස්වන්සී විශ්වවිද්‍යාලයේ Michaela James පවසන්නේ දරුවන්ට තදින් සැලසුම් කරන ලද ක්‍රීඩා වෙනුවට, ඔවුන් කැමති ක්‍රියාකාරකම් තෝරා ගැනීමට නිදහස දිය යුතු බවයි.
පාසල් ක්‍රීඩා පිටි තුළ ලී ලෑලි, ටයර් වැනි සරල ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නිදහසේ සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් දරුවන්ගේ මානසික සුවය සහ ආත්ම විශ්වාසය දැඩි කරණ බව සඳහන් වේ.
වැරදිවලට දඬුවම් ලෙස දරුවන්ගේ සෙල්ලම් කරන කාලය කපා හැරීම නොකළ යුතු බව ද ඇය පෙන්වා දී ඇත සෙල්ලම් කිරීම ආදී වූ වැනි ඕනෑම ආකාරයක සරල චලනයක් වුව ද දරුවෙකුගේ සෞඛ්‍ය සම්පන්න සහ ප්‍රීතිමත් අනාගතයකට අතිශයින්ම වැදගත් වන බව අවසාන වශයෙන් විද්‍යාඥයන් පෙන්වා දී තිබේ .