ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි වසර 150ක අභිරහසක් විසඳෙයි - ගල් මිනී පෙට්ටියේ ඇතුළේ හිටියේ වෙනම කෙනෙක්ද?
වසර 150කට පමණ පෙර ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ (Westminster Abbey) පරිශ්‍රයෙන් සොයාගත් සියවස් ගණනක් පැරණි ගල් මිනී පෙට්ටියක් සම්බන්ධයෙන් පැවති අභිරහසකට නව ආලෝකයක් ලබාදීමට පුරාවිද්‍යාඥයන් සමත්ව තිබේ.
මෙම සොයාගැනීමත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ප්‍රධාන ප්‍රශ්නයක් වන එහි මිහිදන් කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව නව මතයක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව, එහි තැන්පත් කර ඇති දේහය මුල් කාලයේ එම මිනී පෙට්ටියේ මිහිදන් කළ පුද්ගලයාගේ නොව, ගෞරවනීය මධ්‍යකාලීන චරිතයකගේ විය හැකි බවට ඉඟි ලැබී තිබේ.
මීට පෙර සිදුකළ පර්යේෂණවලින් මෙම ගල් මිනී පෙට්ටිය රෝම යුගයට අයත් බවත්, එය ක්‍රිස්තු වර්ෂ හතරවන සියවසට පමණ අයත් විය හැකි බවත් තහවුරු කර තිබිණි.
එහි පේළි තුනකින් යුත් ලතින් භාෂා සෙල්ලිපියකින් එය "වැලේරියස් අමැන්ඩිනස්ගේ මතකය වෙනුවෙන්" කැප කර ඇති බව සඳහන් වේ.
මිනී පෙට්ටියේ උසස් නිමාව සහ එහි ස්වභාවය අනුව වැලේරියස් අමැන්ඩිනස් එවකට ලන්ඩනයේ ජීවත් වූ වැදගත් පුද්ගලයෙකු වන්නට ඇතැයි සැලකුණද, ඔහුගේ ජීවිතය හෝ ක්‍රියාකාරකම් පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත්, මිනී පෙට්ටියේ පියන මත කැටයම් කර ඇති අඩි 5.9ක් (මීටර් 1.8ක්) පමණ දිගින් යුත් කුරුස සලකුණ මෙම අභිරහස තවත් සංකීර්ණ කර තිබේ.
එය ප්‍රමාද ඇන්ග්ලෝ-සැක්සන් යුගයේ ශෛලියට අයත් වන අතර, මුල් රෝම මිනී පෙට්ටියට වඩා වසර 600කට පමණ පසු නිර්මාණය කර ඇති බවට සැලකේ.
වෙස්ට්මිනිස්ටර් ඇබේ හි උපදේශක පුරාවිද්‍යාඥ වෝර්වික් රොඩ්වෙල් පෙන්වා දෙන්නේ මෙම කුරුස සලකුණ හේතුවෙන් මිනී පෙට්ටිය තුළ තිබූ අස්ථි කොටස්වල වයස සහ ඒවාට අයත් පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳ සැක මතුවූ බවයි.
ඒ අනුව දේහය පිළිබඳව නව විශ්ලේෂණයක් සිදුකළ රොඩ්වෙල්, එහි මිහිදන් කර ඇත්තේ මධ්‍යකාලීන යුගයට අයත් භික්ෂුවක හෝ වෙස්ට්මිනිස්ටර් ඇබේහි ආරාමාධිපතිවරයෙකු විය හැකි බවට මතයක් ඉදිරිපත් කර තිබේ.
ඔහුගේ මෙම නව පර්යේෂණ සොයාගැනීම් ඔක්තෝබර් 20 වැනිදා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා සංගමයේ සඟරාවේ පළ කර ඇත. මෙම අභිරහස් මිනී පෙට්ටිය මුලින්ම සොයාගෙන ඇත්තේ 1820 වසරේදී ආරාම පරිශ්‍රයේ සිදුකළ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි කම්කරුවන් විසිනි.
එහිදී මිනී පෙට්ටියේ පියන කොටස් හයකට කැඩී ගොස් තිබූ අතර, එය රළු ලෙස හැසිරවීම හේතුවෙන් එහි තිබූ හිස් කබලට ද හානි සිදුවී තිබිණි.
අස්ථි කොටස් එකිනෙක මිශ්‍ර වී අවුල් සහගත තත්ත්වයක පැවති අතර, පියන විවෘතව තිබූ අවස්ථාවේදී සොරුන් විසින් ඒවා අවුස්සා තිබෙන්නට ඇතැයි සැලකේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී මිනී පෙට්ටිය හෝ එහි තිබූ අස්ථි කොටස් නිසි ලෙස ලේඛනගත කිරීමක් හෝ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු නොකර නැවත මිහිදන් කර තිබීම හේතුවෙන් එහි සැබෑ ඉතිහාසය පිළිබඳ තොරතුරු දීර්ඝ කාලයක් පුරා අභිරහසක්ව පැවතිණි.