ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලාවට අසරණයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස හෙට ආරම්භවීමට නියමිතය.
එම තරගයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගය ලෙස ඉතිහාසගත වෙයි. කණ්ඩායම් දෙකේම ක්‍රිඩකයින් එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී ඊයේ පුහුණුවීම්වල නිරතවුණි. පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වන පැතුම් නිස්සංක හෙට ආරම්භ වන තරගය සඳහා ක්‍රීඩාකිරීම අවිනිශ්චිත වී තිබේ. .
ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට හෙට තරගයේදී කුසල් මෙන්ඩිස්ව හෝ දිනේෂ් චන්දිමාල් ව කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බව වාර්තා විය. ළහිරු කුමාරද හෙට තරගය සඳහා සහභාගිවීම අවිනිශ්චිත වන අතර දුෂ්මන්ත චමීර ට හෙට තරගය අහිමිවන බව නායක දිමුත් කරුණාරත්න පැවසීය.
මේ අතර හෙටින් ආරම්භ වන ටෙස්ට් තරගය වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය වෙයි. සුරංග ලක්මාල් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 166කට ක්‍රීඩා කරමින් කඩුළු 287ක් දවාගෙන තිබේ.
මේ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ දිවා රාත්‍රී තරගයක් ලෙස බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන ටෙස්ට් තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට අවස්ථාව හිමිවන බවය. ශ්‍රී ලංකා - ඉන්දියා දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය.
එම තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසුවේ, "ඉන්ජරීස් දෙකක් තියෙනවා සයිඩ් එකේ. ළහිරු කුමාරයි පැතුමුයි. ඒ වෙනුවට රිප්ලේස්මන්ට් දෙකක් එනවා. ස්පීනස්ලා දෙන්නෙක් සෙල්ලම් කරන්න වෙයි. මොකද අපි දැක්කා විකට් එක සෑහෙන්න වෙනස් වෙනවා. අන්තීම කාළේ මට සෑහෙන්න තිබුණු ප්‍රශ්නයක් තමයි ඉන්ජරි කන්සන් එක. අපේ රමේෂ් මෙන්ඩිස් නැති වුණා. පිට දඟ පන්දු යවන්නෙක් නෑ අපිට සයිඩ් එකේ.
ඉන්න ෆාස්ට් බොලර්ස්ලාගේ එක්කෙනෙක් ඉන්ජරි වුණා. දුෂ්මන්ත චමීර සිලෙක්ෂන්වලට එවේලබල් නෑ. ඇත්තටම කිව්වොත් මම ගොඩක් වෙලාවට අසරණයි. මොකද මට පන්දු යවන්නෝ සෑහෙන අඩුයි. ටෙස්ට් මැච්වල අපි විකට් 20ක් ගන්න ඕනේ ජයග්‍රහණය කරන්න. ඉන්න බොලර්ස්ලා ගොඩක් වෙලාවට ඉන්ජරි කන්සන්ස් ගොඩක් වෙලාවට රෙස්ට් කරවනවා.
වර්ල්ඩ්කප් එක නිසා අපි ඒ වගේ කන්සන්ස් එක්ක හරි අමාරුයි ඉන්දියාව වගේ ටීම් එකක් එකක තරගයක් ජයග්‍රහණය කරන්න. අනිවාර්යයෙන් විකට් 20ක් ගන්න බොලර්ස්ලා ඉන්න ඕනේ අපි ගාව. සුරංගත් ගියාට පස්සේ මම ගොඩක් අසීරු තත්ත්වයට පත් වෙනවා. අපේ ඉදිරියේ තියෙන ටෙස්ට් තරගාවලි තුනේදී".