දෙස් විදෙස් හැමෝම වෙනුවෙන් ඔන්න ඩිජිටල් ක්‍රියාවලිය වේගවත් කරලා
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම සම්බන්ධයෙන් ඊයේ (17) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
ඒ රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි පියවරක් වශයෙන් බව සඳහන්.
අඳාළ සාකච්ඡාව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් ද සංවිධානය කර තිබුණේ අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමට කරන ක්‍රියා වේගවත් කිරීමේ අරමුණින්.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවාවලට විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කළ බවයි.
එමෙන්ම දේශීය සහ විදේශීය පරිශීලකයින්ට තොරතුරු සහ සේවා වෙනුවෙන් වඩා හොඳ ප්‍රවේශයක් සහතික කොට පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද අනාවරණය කර තිබෙනවා.
තවද විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සහ වෙනත් නිල ලේඛන ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා පරිපාටි සරල කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සලකා බලා තිබෙනවා.
ඒ අනුව අඳාළ ප්‍රතිසංස්කරණ තුළින් පරිපාලන ප්‍රමාදය අවම කිරීම සහ පරිශීලකයන්ගේ පහසුව සැලකිය යුතු මට්ටමකින් වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ.
