''පොළොව යට සැඟවීලා සිටි ‘යක්ෂ මල’ එළියට ඇවිල්ලා'' - තායිලන්තයෙන් නව ශාක දැකලා විද්‍යාඥයන් පුදුම වෙයි
තායිලන්තයේ වනාන්තරයකින් සාමාන්‍ය ශාකයකට කිසිසේත් සමාන නොවන, කළු පැහැති අද්භූත පෙනුමක් සහිත නව මල් ශාක විශේෂයක් විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තිබේ.
තිස්මියා ඩීමෝනා (Thismia daemona) ලෙස නම් කර ඇති මෙම දුර්ලභ ශාකය තායිලන්තයේ බටහිර ප්‍රදේශයේ පිහිටි තොන්ග් පා ෆුම් (Thong Pha Phum) ජාතික උද්‍යානයේදී සොයාගෙන ඇත. එහි අසාමාන්‍ය පෙනුම හේතුවෙන් එය “යක්ෂ මල” ලෙස හැඳින්වීමට විද්‍යාඥයන් තීරණය කර තිබේ.
පොළොව යට සැඟවී ජීවත් වන ශාකයක්
මෙම ශාකය තිස්මියා (Thismia) නම් කුඩා ශාක කාණ්ඩයට අයත් වන අතර, එම ශාක “fairy lanterns” ලෙසද හඳුන්වනු ලබයි.
විශේෂත්වය වන්නේ මෙම ශාකවලට chlorophyll නොමැති වීමයි. එබැවින් සාමාන්‍ය ශාක මෙන් සූර්යාලෝකය භාවිත කර ප්‍රභාසංස්ලේෂණය සිදුකිරීමට ඒවාට නොහැක.
ඒ වෙනුවට භූගත දිලීර සමඟ සම්බන්ධතාවක් හරහා පෝෂක ලබාගන්නා මෙම ශාක, තම ජීවිතයේ වැඩි කාලයක් පොළොව යට සහ වැටුණු කොළ තට්ටු අතර සැඟවී සිටින බව විද්‍යාඥයෝ පවසති.
පෙනුම නිසා ලැබුණු ‘යක්ෂ මල’ නාමය
Thismia daemona මල ප්‍රධාන වශයෙන් කළු පැහැයෙන් යුක්ත වන අතර, එහි මුදුනේ අං වැනි ව්‍යුහ කිහිපයක් දක්නට ලැබේ.
මලේ පහළ කොටස ආසන්නයේ ඇති තද රතු-තැඹිලි පැහැති ලප, අඳුරේ දිලිසෙන ඇස් මෙන් පෙනීමද එහි අද්භූත පෙනුම තවත් ඉහළ නංවයි. මෙම ශාකයේ සැඟවුණු, භූගත ජීවන රටාව සහ අසාමාන්‍ය පෙනුම සමඟ එය “Thismia daemona” ලෙස නම් කිරීම වඩාත් සුදුසු බව පර්යේෂකයන් සඳහන් කර ඇත.
ශාක 50කටත් අඩු ප්‍රමාණයක්
කෙසේ වෙතත්, මෙම නව ශාක විශේෂය සොයාගැනීමත් සමඟම එහි පැවැත්ම පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමුව තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇත්තේ එක් ස්ථානයක ජීවත් වන ශාක 50කටත් අඩු ප්‍රමාණයක් පමණි.
එම ශාක සමූහය පිහිටා ඇත්තේ පාපන්දු පිටියකටත් වඩා කුඩා ප්‍රදේශයක බව සඳහන් වේ. ඒ හේතුවෙන් මෙම විශේෂය දැනට තාවකාලිකව “Critically Endangered” හෙවත් අතිශය වඳවීමේ අවදානමකට ලක්වූ විශේෂයක් ලෙස තක්සේරු කර තිබේ.
එහි වාසස්ථානය පිහිටා ඇත්තේ සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන ජාතික උද්‍යානයක් තුළ වීමද අවදානමක් ලෙස සැලකේ.
තායිලන්තයෙන් හමුවූ Thismia විශේෂ සංඛ්‍යාව 16ක්
මෙම සොයාගැනීම තායිලන්තයේ පමණක් නොව, මෙම ශාක කාණ්ඩයේ භූගෝලීය ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක අවබෝධයටද වැදගත් වේ.
Thismia daemona අයත් වන Geomitra කාණ්ඩය මීට පෙර හඳුනාගෙන තිබුණේ මැලේසියානු අර්ධද්වීපය, බෝර්නියෝ සහ සුමාත්‍රා ප්‍රදේශවලින් පමණි. නව සොයාගැනීමත් සමඟ එම කාණ්ඩයේ ව්‍යාප්තිය තායිලන්තය දක්වා උතුරු දෙසට පවතින බව පළමු වරට තහවුරු වී ඇත.
මෙම පර්යේෂණය PhytoKeys විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇති අතර, නව විශේෂය ඇතුළත් කිරීමත් සමඟ තායිලන්තයෙන් හඳුනාගෙන ඇති Thismia ශාක විශේෂ සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.