“බින් ලාඩන්ගේ ප්‍රහාර ලැයිස්තුවේ ඉන්දියාවත් ඉඳලා” - වසර 25කට පසු CIA ලේඛනවලින් හෙළි වූ කතාව

Report

2001 වසරේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට පෙර, අල්-කයිඩා සංවිධානයේ හිටපු නායක ඔසාමා බින් ලාඩන් විසින් ප්‍රහාර එල්ල කිරීමට සලකා බැලූ රටවල් අතර ඉන්දියාවද සිටි බව ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) විසින් නිකුත් කළ රහස්‍ය ලේඛනවලින් හෙළි වී තිබේ.

9/11 ප්‍රහාරයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් CIA ආයතනය පසුගිය සිකුරාදා බින් ලාඩන් සම්බන්ධ ජනාධිපති බුද්ධි වාර්තා 70කට වැඩි සංඛ්‍යාවක් ප්‍රසිද්ධියට පත් කර ඇත.

එම ලේඛන එකතුව පිටු 100කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ. 1998 අගෝස්තු 28 වැනිදාට අදාළ ජනාධිපති බුද්ධි වාර්තාවක සඳහන් වන්නේ බින් ලාඩන් රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බවයි.\

එහි ඉන්දියාවට අමතරව පකිස්තානය, ඊජිප්තුව, කුවේට්, සෞදි අරාබිය, යේමනය, උගන්ඩාව සහ “සමහරවිට” නයිජීරියාවද සඳහන් කර තිබේ. “Bin Ladin Terrorist Network Still a Threat” යන මාතෘකාව යටතේ නිකුත් කර ඇති මෙම ලේඛනයේ තොරතුරු මූලාශ්‍රය ඇතුළු කොටස් කිහිපයක් වාරණය කර ඇත. එමෙන්ම ඉන්දියාවේ නිශ්චිත ඉලක්කයක්, ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත දිනයක් හෝ නිශ්චිත මෙහෙයුම් සැලැස්මක් පිළිබඳ තොරතුරු එහි ඇතුළත් නොවේ.

වාර්තාවට අනුව, බින් ලාඩන්ගේ සංවිධානයට උතුරු ඇමරිකාව, යුරෝපය සහ නැගෙනහිර ආසියාව තුළ ස්ථාපිතව තිබූ ජාලයක් පැවති අතර, එම කලාපවල ඇමරිකානු අවශ්‍යතා වෙතද ප්‍රහාර එල්ල කළ හැකි බවට බුද්ධි අංශ අනතුරු අඟවා තිබිණි.

ඇෆ්ගනිස්ථානයේ සිටි බින් ලාඩන් ඇතුළු ත්‍රස්ත නායකයන් ඇමරිකානු ප්‍රහාරවලින් පසුවද රැඳී සිටි බවත්, ඔවුන්ගේ සන්නිවේදන ජාලය තවදුරටත් ක්‍රියාත්මකව තිබූ බවත් එම ලේඛනයේ තක්සේරු කර ඇත.

ගර්භාෂයේදී ගබ්සා කරන්න කියූ ආබාධිත බිළිඳා වෙනුවෙන් ආදේශක මව ශ්‍රේෂ්ඨාධිකරණයට! ඇමරිකාව කැළඹූ සංවේදී නීතිමය සටන

ගර්භාෂයේදී ගබ්සා කරන්න කියූ ආබාධිත බිළිඳා වෙනුවෙන් ආදේශක මව ශ්‍රේෂ්ඨාධිකරණයට! ඇමරිකාව කැළඹූ සංවේදී නීතිමය සටන

ඇතැම් පුහුණු කඳවුරුවල පුහුණුව නැවත ආරම්භ කර තිබූ අතර තවත් කඳවුරු ස්ථාන මාරු කරමින් සිටි බවද සඳහන් වේ. එමෙන්ම ඇමරිකානු මිසයිල ප්‍රහාරවලට පෙර බින් ලාඩන් ඇමරිකාවට සහ බ්‍රිතාන්‍යයට එරෙහිව තවත් ප්‍රහාර දියත් කිරීමට සූදානම්ව සිටි බවටද වාර්තාවේ අනතුරු ඇඟවීමක් කර තිබේ.

අල්-කයිඩා නායකයාට රටවල් 60කට ආසන්න සංඛ්‍යාවක සිටින පුද්ගලයන් සහ ඔහු සමඟ සම්බන්ධ කණ්ඩායම් යොදා ගනිමින් ප්‍රහාර සිදු කිරීමට හැකියාව තිබූ බවද CIA බුද්ධි වාර්තා පෙන්වා දෙයි.

1998 සිට 2001 දක්වා කාලය තුළ බින් ලාඩන් සම්බන්ධයෙන් සහ ඇමරිකාවට එල්ල විය හැකි ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව එවකට ඇමරිකානු ජනාධිපතිවරුන් වූ බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් වෙත CIA විසින් අවස්ථා කිහිපයකදී අනතුරු ඇඟවීම් ලබාදී තිබූ බවද මෙම ලේඛන එකතුවෙන් අනාවරණය වේ.

CIA ආයතනය පවසන්නේ මෙම ලේඛන ප්‍රසිද්ධියට පත් කිරීම මගින් 9/11 ප්‍රහාරයට පෙර සහ ඉන් පසු ඇමරිකානු ඉතිහාසයේ ඉතා සංවේදී බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පෙර නොවූ විරූ මට්ටමේ විනිවිදභාවයක් ලබාදෙන බවයි.

2001 සැප්තැම්බර් 11 වැනිදා අල්-කයිඩා සාමාජිකයන් 19 දෙනෙකු ගුවන් යානා හතරක් පැහැරගත් අතර, ඉන් ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ Twin Towers ගොඩනැගිලි දෙකෙහි ගැටීමෙන් ඒවා සම්පූර්ණයෙන්ම කඩා වැටුණි.

තවත් ගුවන් යානයක් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වන Pentagon ගොඩනැගිල්ලේ ගැටුණු අතර, සිව්වැනි ගුවන් යානය මගීන්ගේ ප්‍රතිරෝධය හේතුවෙන් පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිටියකට කඩා වැටුණි. එම ගුවන් යානයේ ඉලක්කය ධවල මන්දිරය හෝ කොංග්‍රස් මණ්ඩලය විය හැකි බවට විශ්වාස කෙරේ.

''හුති තර්ජනයට එරෙහිව ඊශ්‍රායලය අරාබි රටවල් සමඟ එක්වෙයිද?'' - නෙතන්යාහුගෙන් යෝජනාවක්

''හුති තර්ජනයට එරෙහිව ඊශ්‍රායලය අරාබි රටවල් සමඟ එක්වෙයිද?'' - නෙතන්යාහුගෙන් යෝජනාවක්