එල්නිනෝ බලපෑමෙන් රැකියා අහිමි වූවන්ට සහන - විශේෂ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් සාකච්ඡා
එල්නිනෝ දේශගුණික බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූ සහ අහිමි වීමේ අවදානමට ලක්ව සිටින පුද්ගලයින් සඳහා සහන සැලසීමේ විශේෂ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවධානය යොමු වී තිබේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී සිව්වන වරටත් රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එල්නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වල ජීවනෝපායන්ට සහ රැකියාවලට එල්ල වී ඇති අහිතකර බලපෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, රැකියා අහිමි වූවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි කෙටිකාලීන සහ දීර්ඝකාලීන සහන යෝජනා ක්‍රම පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස අදහස් හුවමාරු වී ඇත.
එමෙන්ම, එල්නිනෝ තත්ත්වය හමුවේ එළවළු සහ පලතුරු වගාවන්ට සිදුවිය හැකි හානිය අවම කරගැනීම, වෙළඳපොළ තුළ එළවළු හිඟයක් සහ මිල ඉහළ යාමක් සිදු නොවන පරිදි පූර්ව ආරක්ෂිත පියවර ගැනීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය.
මේ වන විට දිස්ත්‍රික්ක 06ක ජනතාව මෙම වියළි කාලගුණික බලපෑමට සෘජුවම ලක්ව සිටින බැවින්, එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය අඛණ්ඩ පානීය ජල සැපයුම තහවුරු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.
එළඹෙන මහ කන්නය ආරම්භ කිරීම සහ වගා සංග්‍රාමය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් සැප්තැම්බර් මස 04 වනදා පැවැත්වීමටත්, එල්නිනෝ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක 06 හි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් මෙහිදී තීරණය කර ඇත. අදාළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව එළඹෙන සැප්තැම්බර් මස 14 වනදා නැවත රැස්වීමට නියමිතය.