දන්සල් දෙන අයට සහ කන අයට PHI වෙතින් හදිසි නිවේදනයක්- මේ වැරැද්ද කළොත් වැඩ වරදියි
එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් විශාල සංඛ්‍යාවක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, වෙසක් පොහොයට සාපේක්ෂව මෙවර පොසොන් දන්සල් වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇති අතර, ඒ අතරින් වැඩිම දන්සල් සංඛ්‍යාවක් උතුරු මැද පළාතෙන් වාර්තා වන බවයි.
දන්සල් සංවිධානය කිරීමේදී ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය හැකිතාක් අවම කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ඔහු, විශේෂයෙන් ප්ලාස්ටික් භාජනවල හෝ පොලිතින් ඇසුරුම්වල උණුසුම් ආහාර සහ පාන වර්ග බෙදාහැරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි නිරීක්ෂණ සිදුකරන බවද සඳහන් කළේය.
උණුසුම් හෝ සිසිල් ආහාර පොලිතින් බෑග් තුළ ගබඩා කිරීම සෞඛ්‍යයට අවදානම් විය හැකි බැවින්, එවැනි ක්‍රියාමාර්ගවලින් වැළකී ආහාර සුරක්ෂිතතා මාර්ගෝපදේශ අනුව කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.
තවද, මේ දිනවල රට තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බැවින්, භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් සහ පොලිතින් නිසි ලෙස කළමනාකරණය නොකිරීම මදුරු බෝවීමට හේතු විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, පොසොන් දන්සල් සංවිධායකයින් ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කරමින්, පරිසර හිතකාමී හා සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස උපුල් රෝහණ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
"අපි කලින් අවස්ථාවලදි දැකලා තියෙනවා විශේෂයෙන් කෝපි දන්සල් සහ බීම දන්සල් වැනි පාන වර්ග ලබා දීමේදී භාවිතා කරන කප් හැමතැනම විසිරෙන ආකාරයට බැහැර කරනවා. ඒ නිසා අපි ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද මේ විසිරෙන භාජනවලින් ඩෙංගු මදුරුවන් ඇතිවීමේ අවධානමක් තියෙනවා." යනුවෙන් එතුමා සදහන් කර ඇත