හදිසි තත්ත්වයක් - ශ්‍රී ලංකාවේ ඩෙංගු අධි වසංගත තත්ත්වයකට ඇවිත් - විවිධ ප්‍රභේද වලින් ඩෙංගු මතුවෙලා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඩෙංගු ‘අධි වසංගත’ (Hyper-epidemic) තත්ත්වයකට මුහුණ දී සිටින බවත්, රෝහල්ගත වන රෝගීන්ගෙන් සියයට 80කට පමණ ‘ඩෙංගු 2’ වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බවත්ය.
රෝහල්ගත වන රෝගීන්ගෙන් ඉතිරි සියයට 20ක පිරිසකට ‘ඩෙංගු 3’ වෛරසය වැළඳී ඇති බව මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්යවරිය පෙන්වා දුන්නේය. එමෙන්ම මීට පෙර 2017 වසරේදී ද මෙවැනිම දරුණු වසංගත තත්ත්වයක් ඇති වූයේ ‘ඩෙංගු 2’ වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් බව ඇය සිහිපත් කළාය.
මෙහිදී විශේෂ අනාවරණයක් කරමින් මහාචාර්යවරිය සඳහන් කළේ, ‘ඩෙංගු 2’ වෛරසය වැළඳුණු රෝගීන්ගේ ‘එන්.එස්. 1’ ඇන්ටිජන් පරීක්ෂණය ‘පොසිටිව්’ වීමේ සම්භාවිතාව අනෙක් ප්‍රභේදවලට වඩා අඩු මට්ටමක පවතින බවයි.
එබැවින් ඇන්ටිජන් පරීක්ෂණය ‘නෙගටිව්’ වූ පමණින් තමන්ට ඩෙංගු නොමැති බව තීරණය කර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීම අතිශය අවදානම් සහගත බව ඇය අවධාරණය කළාය. ඩෙංගු මරණ සහ සංකූලතා ඉහළ යාමට ප්‍රධානතම හේතුව රෝගීන් රෝහල්ගත වීමට ප්‍රමාද වීම බව මහාචාර්යවරිය පෙන්වා දෙයි.
"ඩෙංගු මරණ වැඩිවෙන්නේ රෝහලට යන්න පරක්කු වෙන නිසයි. ඇන්ටිජන් පරීක්ෂණය නෙගටිව් වුණත්, උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්" යැයි ඇය සඳහන් කළාය. දැනට රට තුළ ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ වෛරස් වැනි උණ රෝග කිහිපයක්ම ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, කල්තියා රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් ජීවිත අවදානම අවම කරගත හැකි බව ද මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
