ඩෙල්ටා දරුවන් අතර වේගයෙන් පැතිර යනවා..ඇතුලත් කරන්න රෝහල් නෑ (VIDEO)

COVID19 CHILDREN DELTA VARIETY NALIN KITHULWATHTHA RICHWAY HOSPITAL
By Sewvandhi Aug 06, 2021 12:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ දරුවන් අතර ශීඝ්‍රයෙන් පැතිරී යමින් තිබෙන බවත් පවතින තත්ත්වය අනුව ඉදිරියේදී දරුවන් ඇතුළත් කිරීමට රෝහලක් පවා සොයාගැනීමේ අපහසුවක් ඇතිවිය හැකි නිසා දරුවන් දැඩි ලෙස ආරක්ෂා කරගත යුතු බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා අවධාරණය කරයි.

“කොවිඩ් සහ ළමයි සම්බන්ධයෙන් කතා කරන කොට ඉතාමත් කෙටියෙන්ම කියන්න තියෙන්නේ එනපොට හොඳ නෑ කියලයි. අපිට කියන්න තියන පණිවුඩය තමයි දරුවන් ආරක්ෂා කරගන්න. දරුවන් පරිස්සම් කරගන්න. මම මෙහෙම කියන්නේ ඇයි? මේකට හේතු ගණනාවක් තියනවා. රිජ්වේ ආර්යා ළමා රෝහල විතරක් නෙවෙයි, බොහෝ රෝහල්වල දරුවන්ට කොවිඩ් වැළඳුනහම ප්‍රතිකාර කරන වාට්ටු දැන් පිරි ඉතිරී යමින් තිබෙනවා. කෙටියෙන්ම කියනවා නම් දරුවෙකුට කොවිඩ් වැළඳුනොත් රෝහලක් හොයාගන්න අමාරු තත්ත්වයක් දැන් ඇතිවෙලා තියනවා.“

“දෙමව්පියන්ගෙන් සියයට අනූවක්ම මට කතා කරන්නේ කොවිඩ් සම්බන්ධයෙන්. මගේ දරුවට කොවිඩ් හැදිල තියනවා. මොකද කරන්නේ ? මම කොහේටද යන්නේ කියලයි ඔවුන් අහන්නේ. ඔබ කළ යුත්තේ ඔබේ ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ වෛද්‍යවරයෙකු හමුවෙලා ඒ ගැන සාකච්ඡා කර කුමක්ද කළ යුත්තේ කියන එක තීරණය කරන එකයි. “ ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

මේ වන විට ශ්‍රී ලංකාවේ දරුවන් 45,831 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුව හමුවේ පැවසුවාය.

ඇය ප්‍රකාශ කළේ, වයස අවුරුදු 10ට අඩු දරුවන් 19688 දෙනෙකුට සහ අවුරුදු 10ත් 18ත් අතර දරුවන් 26143 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති බවය.

ඔවුන් අතරින් දරුවන් 14 දෙනෙකු මියගොස් තිබේ. ඉන් වැඩි ම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වීම විශේෂත්වයකි. ඒ අනුව, වයස අවුරුදු 5ට අඩු දරුවන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගුරුවරුන් එන්නත් කිරීමෙන් පසුව පාසල් ආරම්භ කිරීමට රජය සැරසෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now