ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය ව්‍යවසනකාරී -PHI සංගමය අනතුරු අඟවයි

Sri lanka delta
By Sithumi Jul 18, 2021 11:45 AM GMT
Sithumi

Sithumi

Report

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත වුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන පසුබිමක සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීම සුදුසු නොවන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වාදෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ ව්‍යාප්ත වන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට පත්වනු ඇති බවය. එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කළ බොහෝ රටවල් ද ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදයේ ව්‍යාප්තිය හේතුවෙන් යළි සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති බව උපුල් රෝහණ මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“මේ තත්ත්වය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නෙමෙයි. ඉතාම භයානක අවධානම් තත්ත්වයක්. ලෝකයේ එන්නත් ආවරණය අපට වැඩිය සිදුකළ බොහෝ රටවල් මේ වන විට අඩපණ වෙලා තියෙනවා. දරුණුම කොවිඩ් -19 වසංගත තත්ත්වයන්ට මුහුණදෙමින් ඉන්නවා. බොහෝ රටවල් නැවත වරක් අගුලු දමමින් ඉන්නවා

ජනතාවගේ සංචරණය සීමා කරමින්. නමුත් දිගින් දිගටම ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවෙද්දි රජය හා ප්‍රතිපත්ති තීරකයෝ තියෙන සංචරණ සීමා ලිහිල් කරමින්, මහජනතාව සියල්ල අමතක කරමින් කටයුතු කරමින් සිටිනවා අපිට පෙනී යනවා. 

කෙසේවෙතත් ඉදිරි දින කිහිපයේ දී දකින්න ලැබෙයි කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ වසංගත තත්ත්වයක් ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙයි. ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්වුවහොත් ලංකාව මීට කලින් මුහුණදුන්න වසංගත තත්ත්වයට වඩා අවධානම් තත්ත්වයක වසංගතයකට මුහුණ දෙයි.

අනිවාර්යයෙන් ම මේ තත්ත්වය බැරෑරුම් ලෙස රජය හා ජනතාව භාරගත යුතුයි. ඒ තුළින් ඉදිරියේ දී රටේ ඇති වෙන ව්‍යවසනකාරී තත්ත්වය වළක්වා ගැනීමට මේ මොහොතේ සිට හෝ කටයුතු කළේ නැතිනම් ඉතා අවාසනාවන්ත තැනකට තල්ලුවෙයි.“