අම්මයි පුතයි මැරූ පාපතරයාට දුන් දඬුවම..අභියාචනාධිකරණයත් පිළිගනී..

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Mar 28, 2024 10:12 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ මහාධිකරණය මගින් මීට වසර 16 කට පෙර කොළඹ, බණ්ඩාරනායක පුර ප්‍රදේශයේදී මවක් සහ පුත්‍රයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු එම්. ඒ. සම්පත් චමින්ද නමැති විත්තිකරුට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය විසින් ඊයේ (27) තහවුරු කරන ලදි.

එම දඬුවමින් තමන්ව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මියගේ එකඟත්වය සහිතව විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව,  2008 වසරේ ඔක්තෝම්බර් මස 13 වනදා කොළඹ බණ්ඩාරනායක පුර ප්‍රදේශයේදී පිහිටි සිය නිවස තුළ සිටි මවක් වූ මායාදුන්නගේ චන්ද්‍රලතා සහ ඇයගේ පුත්‍රයා වන දිනේෂ් ප්‍රසන්න වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට විත්තිකරු වරදකරු කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට මරණීය දණ්ඩනය නියම කළේය. ඉන් අනතුරුව අදාළ විත්තිකරු විසින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.

එම ඇපෑල තුළින් විත්තිකරු අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශකර තිබුණේ මහාධිකරණයේ දී තමන්ට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවයි.

විත්තිකරු එම ඇපෑල තුළින් චෝදනා කර තිබුණේ, තමන්ට වාසිදායක ආකාරයෙන් ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට භාජනය කිරීමට මහාධිකරණ විනිසුරුවරයා කටයුතු නොකළ බවත් තමන් විසින් ඉදිරිපත් කළ විත්තිවාචකයද මහාධිකරණ විනිසුරුවරයා විසින් සිය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර සැලකිල්ලට භාජනය නොකළ බවත්ය.

විත්තිකරු වරදකරු කිරීමේදී මහාධිකරණ විනිසුරුවරයා නිවැරදි ආකාරයෙන් කටයුතු කර ඇති බවයි,එම ඇපෑල පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත්වූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

මහාධිකරණයේ පැවති නඩු විභාගයේ දී විත්තිකරු විසින් විත්තිකූඩුවේ සිට සිදුකළ ප්‍රකාශය තුළින් පවා සාධාරණ සැකයක් මතු කිරීමට ඔහු අසමත් වී ඇතැයිද නඩු තීන්දුවේ සඳහන් කර තිබේ.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කර තිබෙන තීන්දුව තහවුරු කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.