වැල නොකැඩී බිහිසුණු අනතුරු මරණ ඉහලට
දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් කුඩා දැරියක ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මිල්ලනිය කැනන්තුඩාව මාර්ගයේ රන්මිණික වංගුවේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් පසුකර ඉදිරියට ධාවනය කරන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ සිටි දරුවෙකු හිස පිටතට දමා ඇති අතර එහිදී ටිපර් රථයේ දරුවාගේ හිස ගැටී අනතුරක් තිබේ.
බරපතළ තුවාල ලැබූ දරුවා අනතුරින් හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත . අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක් වූ මිල්ලනිය ප්‍රදේශයේ පදිංචි දැරියකි.
මිද්දෙණිය පොලිසිය විසින් අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරයි. එමෙන්ම ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමේ බෙලගන්වැව හෙබරව මාර්ගයේ කිලෝමීටර් 03 කණුව ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවීතක්ෂයට පත්ව ඇත.
යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු ගිරාදුරුකෝට්ටේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ බෙලගන්වැව, ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගිරාදුරුකෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයකට යටවීමෙන් ද පුද්ගලයෙකු මියගොස් තිබේ. හොරගස් හන්දිය ආසන්නයේදී ඔහු බස් රථයෙන් බැස ඇති අතර මාර්ගය හරහා ගමන් කිරීමේදී එම බස් රථයටම යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 පමණ වූ කනන්විල, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
කඩුවෙල අතුරුගිරිය මාර්ගයේ පහළ බෝමිරිය ප්‍රදේශයේදී අතුරුගිරිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටීමෙන් ද අනතුරක් සිදුව ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 54ක් වූ පහළ බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.