අත්හැර දමා ගිය ගමන් මල්ලකින් කෝටි 11ක ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනී
රේගු නිලධාරීන් පිරිසක් විසින් රුපියල් එකොළොස් කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ .
එලෙස මෙම මත් ද්‍රව්‍ය සොයාගන තිබෙනුයේ ඒ කොළඹ වරාය තුළ පිහිටි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරන ලද සහ ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු සහ භාණ්ඩ රදවා තබන ගුදම් ගබඩාව තුළිනි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු විසින් මෙම ගමන් මල්ල රැගෙන විත් තිබේ.
ඒ ඉකුත් 2025 වසරේ ඉකුත් මාර්තු මස ( 03/17) දිනයි .
එය ඔහු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් හැර දමා පළා ගොස් තිබුණි.
පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් කොළඹ වරාය තුළ පිහිටි රාජසන්තක කරන ලද සහ අත් හැර දමා ඇති ගුදම වෙත මාරු කර යවා ඇත.
මාස 09 ක කාළයක් මෙම ගමන් මල්ල භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වී නොමැත .
එනිසා එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගැනීමත් සමග එහි පොලිතීන් ඇසුරුම් තුළ සගවා සකස් කර තිබූ මෙම කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක් බරැති " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
තවද කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත මෙම මත්ද්‍රව්‍ය පාර්සලය භාර දී තිබේ.