පාස්කු ප්‍රහාරය වෙනුවෙන් යුද හමුදා කර්නල් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු තහනම දීර්ඝ කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමකින් තොරව එලෙස යුද හමුදා හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු වන කර්නල් කේ.එස්. මද්දුමගේ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 11 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.
මෙම කර්නල්වරයා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (21) යළි සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
එදිනට පෙර මෙම සිද්ධියට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට නියම කර තිබේ.
පසුගිය දා පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කළ කේ.එස්. මද්දුමගේ මහතා විසින් ඉදිරිපත් කර තිබුණි.
පෙත්සම්කරු කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුනු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වර්තමානයේ සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බවයි.
ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව අනීතික ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.