ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන අයට අසුබ ආරංචියක්..

By Sithumi Jun 24, 2022 03:30 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් (Credit Cards) සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකයන් ඉහළ දමා ඇති බව නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මේ වන විට බැංකු කිහිපයක් විසින් ණය කාඩ්පත් සඳහා අය කරනු ලබන පොලී අනුපාතිකය 30% ක් බව ප්‍රකාශයට පත් කර තිබේ.

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය. එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු අද වන විට 30% ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව මෙම වසරේ අප්‍රේල් මාසය අවසන් වන විට මෙරට තුළ සක්‍රීයව පවතින ණය කාඩ්පත් ප්‍රමාණය 1,973,481 ක් ලෙසින් සටහන්ව තිබේ.

මෙම ණය කාඩ්පත් වෙනුවෙන් 2022 අප්‍රේල් මාසය අවසන් වන විට ගෙවිය යුතු මුළු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 138,192 කි. 2022 වසරේ මුල් මාස 04 තුළ දී මෙරට සක්‍රීය ණය කාඩ්පත් ප්‍රමාණය 46,286 කින් ඉහළ ගොස් ඇති අතර මුළු ණය කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු හිඟ මුදල් ප්‍රමාණය රු. මිලියන 4,907 කින් වැඩි වී ඇත



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now