දරුවන් එන්නත්කරණයේ ප්‍රමුඛතාවය කාටද ?

Covid 19 Covid vaccsine
By Sithumi Sep 10, 2021 11:46 AM GMT
Sithumi

Sithumi

Report

මේ වනවිට කොවිඩ් - 19 වෛරසය ආසාදිත දරුවන් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි. මීට පෙර දිනකට කොවිඩ් ආසාදිත දරුවන් 20ත් 25ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද මේ වනවිට එය 10ත් 12ත් අතර සංඛ්‍යාවක් දක්වා අඩුවී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය

. තවද, ළමුන්ට එන්නත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු පැවසීය. ඊට අමතරව දරුවන්ට උපතේ සිට ලබාදිය යුතු එන්නත් කිරීම් සම්බන්ධයෙන්ද අවශ්‍ය කටයුතු සකස්කරමින් පවතින බවත් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේය. "ළමා රෝහලට කොවිඩ් නිසා එන දරුවන්ගේ අඩුවක් තිබෙනවා.

මුලදී ළමයි 20ක් 25ක් දිනකට පැමිණියා. දැන් පැමිණෙන්නේ 10 ත් 12 ත් අතර පිරිසක්. නේවාසිකව රෝගී දරුවන් 200ක් ප්‍රතිකාර ලැබුවා. දැනට රෝගීන් 70 දක්වා අඩුවෙලා තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ළමුන් 4ක් පමණ ප්‍රතිකාර ලබනවා. 1,000කට ආසන්න ළමුන් සංඛ්‍යාවකට ප්‍රතිකාරකර තිබෙනවා. කොරෝනා නිසා දරුවන් 20දෙනෙක් මිය ගිහින් තිබෙනවා. උපතින් රෝගාබාධ සහිතව සිටි දරුවන් තමයි ඒ අය. හෘද රෝග, වකුගඩු රෝග ශ්වසන රෝග තිබුණු අය."

"අවධානය යොමුවෙලා තිබෙනවා අවුරුදු 12ට වැඩි දරුවන්ට සුදුසු එන්නත් ලබාදීමට. මුලින් ආබාධිත දරුවන් සඳහා ද දෙවනුව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ දරුවන්ට ද ඉන්පසු ඉතිරි කොටසට ද ලබා දෙන්න යෝජනාවෙලා තිබෙනවා.

දරුවන් 70%කට 80%කට ලබාදුන් පසු මෙයින් මිදෙන්න පුළුවන්." "ෆයිසර් එන්නත තමයි දරුවන් සඳහා යෝජනා වෙලා තිබෙන්නේ. ඉදිරියේ දී ලබාදීමට කටයුතු සාකච්ඡා කරගෙන යනවා. ළමුන් එන්නත්කරණ කටයුතු දිස්ත්‍රික් මට්ටමින්, ග්‍රාම සේවා මට්ටමින්, රෝහල මට්ටමින් කරන්න බලාපොරොත්තු වෙනවා."