මෙරට කොරෝනා ආසාදිතයින් ගැන සුබ ආරංචියක්..

Covid Corona Sri Lanka Oxygen Covid patient
By Aruna Sep 07, 2021 02:04 AM GMT
Aruna

Aruna

Report

ඔක්සිජන් මත රඳා පවතින කොරෝනා රෝගීන්ගේ සාපේක්ෂ අඩුවීමක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 3,173 දෙනෙකු වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 465,940 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 1,952 දෙනෙකු සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 386,509 ක්.

මේ අතර, කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් අයෙකුට වෛරසය ආසාදනය වූ අවස්ථාවකදී එම පුද්ගලයාට පසුකාලීනව සංකූලතා ඇතිවීමේ හැකියාව ඉහළ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වූ එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල අවුරුදු 20 ත් 30 ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඊයේ ආරම්භ වුණා.

ඒ යටතේ ලබාදෙන්නේ සයිනොෆාම් එන්නතයි.

කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේදි එන්නත් ලබා දීම සිදුවනවා.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලීන්ද හේරත් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාසල් දරුවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුවිය යුතු බවයි.

මේ අතර, කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ ආදිවාසී නායකයා ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ බිරිඳ හීන් මැණිකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ සිදු කළා.

ඒ, මහියංගන ප්‍රාදේශීය සභා ආදාහනාගාරයේදීයි.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව ආදීවාසී චාරිත්‍රද ඉටුකරමින් දේහය නෑ යකුන් වෙත බාර කිරීම සිදුවුණා.

මේ අතර දිවයිනේ සියලු‍ ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළඳපොල ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තොග වෙළඳ කටයුතු සඳහා පමණක් විවෘතව තැබීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now