පාලනය කිරීමට අපහසු දරුණු කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි..රෝගීන් 45ක් හදුනා ගැනේ.

America New Covid variant Corona viruses
By Aruna Sep 23, 2021 05:53 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ. R පොයින්ට් වන් (R.1) නම් එම නව ප්‍රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි.

එම ප්‍රභේදයම ආසාදිත වූ පුද්ගලයින් 45දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමග අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි.

අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් වර්ධනයවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

මේ අතර 2019 වසරේ සැප්තැම්බර් මාසයේ පටන් කොවිඩ්කාරක වෛරසය අමෙරිකාව තුළ පැතිරෙමින් තිබූ බවට චීනය පවසයි.

ඔවුන්ට අනුව මෙම අනාවරණය සිදුකරගෙන ඇත්තේ, කොවිඩ් වසංගතයේ ආරම්භය සොයා චීන විද්‍යා ඇකඩමියේ මැදිහත්වීමෙන් අමෙරිකාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය සහ බ්‍රසීලය යන රටවල සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසය.

ඊට අනුව කොවිඩ් වෛරසය චීනයේ වූහාන් නගරයේ පැතිරගොස් ඇත්තේ ඉන් පසුවය.

ගෙවුණු දිනයේදීත් ලොව වැඩිම ආසාදිතයින් 130,000 ඉක්මවා වාර්තාවී ඇත්තේ අමෙරිකාවෙනි.

ඊයේ එරට කොවිඩ් ආශ්‍රිත මරණ 2,212ක් වාර්තාවීමත් සමග එරට කොවිඩ් මරණ හත් ලක්ෂයට ආසන්න වී තිබේ.

ගෝලීය වශයෙන් මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 23 කෝටි 08 ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා සිදුවූ සමස්ත කොවිඩ් මරණ 47 ලක්ෂ 31 දහසට අධිකය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now