වහාම බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - කොටුව අධිකරණයෙන් නියෝගයක්
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මිලියන 7.8ක මුදලක් භාවිතා කර ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීමට අදාළව එවකට හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, එහි සභාපති භාෂ්වර ගුණරත්න , කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර්, ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ නීතිපති උපදෙස් මත පොදුදේපල පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මාර්ගයෙන් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ දැනුම් දීමෙන් අනතුරුවයි.
එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගිය නමුත් එම ස්ථානවල ඔවුන් නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත. සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග කරනු ලැබුවේය.
2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතාකර සංචාරක ප්රචාරක කටයුතු ලෙස පවසමින් ටීෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇත්තේ එම ටීෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩසටහනකට මෙම ටීෂර්ට් බෙදාහැර ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.