හිටපු ගමන් ක්ලාන්ත වි වැටෙනවා.. හිරේ දැම්මොත් ආතතියෙන් මිය යන්න පුළුවන්.. හෙට ශිරන්ති නවලෝක රොහලට ඉදිරිපත් කිරීමට අධිකරණයෙන් නියෝගයක්
සිරිලිය නඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සඳහා අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනිල් ද සිල්වා අද (07) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී "මගේ සේවාදායිකාවගේ ධමනි කිහිපයක් අවහිර වෙලා. හිටපු ගමන් කරකැවිල්ල ඇති වි ක්ලාන්ත වි වැටෙනවා. එය සිදුවන වේලාවක් කියන්න බැහැ.” යනුවෙන් සඳහන් කර ඇත.
ඒ, ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඇප ඉල්ලීමක් සිදුකරමින්.
එහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා ඇත්තේ,
රිමාන්ඩ් කළ ශිරන්ති බන්ධනාගාර බස් රියට නැගීමේදී උණුසුම් තත්ත්වයක් - ආරක්ෂිත ස්ථානයක රැඳවීමට සූදානමක්
" ස්වාමීනී, මගේ සේවාදායිකාවට වයස අවුරුදු 73යි. ඇය රෝගී තත්ත්වයන් කිහිපයකින් පෙළෙනවා. ඇය 2019 සිට හෘද රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබන තැනැත්තියක්. මෙවන් ආකාරයට හෘද රෝගී තත්ත්වයෙන් පසුවන තැනැත්තියක් බන්ධනාගාර ගත කළ හොත් ආතතියෙන් මිය යන්න පුළුවන්. මොකද ස්වාමීනී ඇයට හාට් ඇටක් ඒමේ අවදානමත් තිබෙනවා. මොකද ඇයගේ දමනි කිහිපයක් කොලෙස්ටරෝල්වලින් අවහිර වෙලා තියෙන්නේ. ඒ වගේම 2021 මොලෙ ස්කෑන් එකක් කරලා තිබෙනවා. ඇයට රෝගී තත්ත්වයක් තිබෙනවා. හිටපු ගමන් කරකැවිල්ල ඇති වි ක්ලාන්ත වි වැටෙනවා. එය සිදුවන වේලාවක් කියන්න බැහැ. ඇයගේ කොඳු ඇට පේළියේද ආබාධයක් තියෙනවා. ඇයට වෙරිකෝස් තත්වයක්ද තියෙනවා. ඒ නිසා ඇයට ඇයගේ දේවල් තනියෙන් කරන්න බැහැ. මේ වගේ කෙනෙක්ට බන්ධනාගාරයක් තුළ ප්‍රතිකාර කරන්න බැහැ. ඇය ඇයගේ රෝගී තත්වයට ප්‍රතිකාර ලබාගෙන සුවය ලබමින් සිටින අයෙක්. මෙම තත්වයන් සුවිශේෂි තත්වයක් ලෙස සලකා මගේ සේවාදායිකාවට ඇප ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා."
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය සිද්ධියට අඳාළ විමර්ශන මෙතෙක් අවසන් වී නොමැති බවට අල්ලස් කොමිසම කළ කරුණු සැලකිල්ලට ගනිමින් පළමු සැකකාර ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හරිමින් දෙවැනි සැකකාරිය වන ශිරන්ති රාජපක්ෂ ලබන 13 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂගේ නිතීඥ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ප්‍රකාශ කළේ තම සේවාදායිකාවගේ අක්ෂි රෝගයක් සම්බන්ධයෙන් ඇය ප්‍රතිකාර ලබන නවලෝක රෝහලේ වෛද්‍යවරයා වෙත හෙට දින ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරියට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
එබැවින් හෙට (08) සැකකාර ශිරන්ති රාජපක්ෂ නවලෝක රොහල වෙත දහවල් 12.30 ට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණයෙන් නියෝගයක් නිකුත් වූ බව සඳහන්.