2024දී මිලියන 110ක් - හිටපු ජනපතිවරුන්ගේ නඩත්තුවට දැන් වැය වන මුදල මෙන්න

Report

හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තු කටයුතු වෙනුවෙන් රජය දරන වියදම පසුගිය වසර දෙක තුළ සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී පසුගිය සෙනසුරාදා (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2024 වසරේදී හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුව වෙනුවෙන් රුපියල් මිලියන 110.51ක මුදලක් වැය කර තිබූ අතර, 2026 වසරේ පළමු මාස නවය තුළ එම වියදම රුපියල් මිලියන 4.39ක් දක්වා පහත වැටී ඇති බවයි.

ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව, 2024 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නඩත්තු කටයුතු වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 61.66කි.

එමෙන්ම, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් රුපියල් මිලියන 13.69ක් ද, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රුපියල් මිලියන 18.57ක් ද වැය කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 11.02ක් සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රුපියල් මිලියන 2.53ක් ද එම වසරේදී වැය කර ඇත.

මීට අමතරව, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් ද රුපියල් මිලියන 3.04ක මුදලක් වැය කර තිබේ.

කෙසේ වෙතත්, 2026 වසරේ සැප්තැම්බර් 30 වැනිදා දක්වා වූ මාස නවයක කාලය තුළ මෙම වියදම් සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තොරතුරුවලින් අනාවරණය වේ.

ඒ අනුව, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් පස්දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 880,000 බැගින් රජය වැය කර තිබේ. එම කාලසීමාව තුළ හේමා ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් කිසිදු මුදලක් වැය කර නොමැති බව ද අදාළ දත්තවල සඳහන් වේ.

ඒ අනුව, 2026 වසරේ පළමු මාස නවය තුළ හිටපු ජනාධිපතිවරුන් පස්දෙනාගේ නඩත්තුව වෙනුවෙන් රජය දරා ඇති සමස්ත වියදම රුපියල් මිලියන 4.39කි.

2024 වසරේදී වැය කළ රුපියල් මිලියන 110.51ක මුදල සමඟ සැසඳීමේදී මෙය විශාල අඩුවීමක් වන අතර, හිටපු රාජ්‍ය නායකයන්ගේ නඩත්තු වියදම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන මගින් මෙම වෙනස පැහැදිලි වේ.