විදුලි ඉංජිනේරුවන් CIDයට - යළිත් රට අඳුරේ වැටෙන ලකුණු..?

By Sithumi Dec 04, 2021 03:48 PM GMT
Sithumi

Sithumi

Report

ගතවූ සතිය තුළ සිදුවූ විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිවලින් ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා. ඒ අනුව තම නියෝජිතයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අදාළ ප්‍රකාශ ලබාදුන් බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ.

එමෙන්ම කෙරවලපිටිය යුගදනවි ගිවිසුම අහෝසි කරන ලෙස ඉල්ලමින් ඊයේ දිනය දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වුණා. එහිදී අදාල ගිවිසුම සහ ගතවූ සතිය තුල සිදුවූ විදුලි බිඳවැටීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මේ වන විට විදෙස් සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන බවයි වෘත්තීය සමිති නියෝජිතයන්ට එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. මේ අතර ඊයේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමේදී නොරොච්චෝලේ බලාගාරයට නිසි සේවාවන් ලබා නොදීම, එහි ජනන යන්ත්‍ර 2 ක් අක්‍රීය වීමට හේතු වී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ බලාගාරයට අදාළ සේවා සැපයීමට කටයුතු නොකල පිරිස් වලට එරෙහිව පියවර ගත යුතු බවයි. මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය වී ඇති ජනන යන්ත්‍ර 2 යථා තත්වයට පත් කරන තෙක් ඉදිරි දින 4 තුල සවස 6 ත් රාත්‍රී 9 යි 30 ත් අතර පැයක කාලයක් ඇතැම් ප්‍රදේශ වලට විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ මුලු දිවයිනටම සිදුවූ විදුලි බිඳවැටීමෙන් තම දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වූ බව පවසමින් සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් අද මහජන උපයෝගීතා කොමිසම වෙත පැමිණිල්ලක්ද භාර දුන්නා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now