අගෝස්තු 11 ඔත්තු බලන චීන නැවක් ශ්‍රී ලංකාවට..ඉන්දියාවත් කලබල වෙයි.

Sri Lanka China
By Aruna Jul 29, 2022 07:39 AM GMT
Aruna

Aruna

Report

චීනයේ ඔත්තු බැලීමේ නෞකාවක් (විද්‍යාත්මක විශ්ලේෂණ නෞකාවක්) වන ‘යුවාන්වැන්ග් 5’ ඉන්දීය සාගර කලාපය තුළ පරිගණක කළමනාකරණය සහ විශ්ලේෂණ නිරීක්‍ෂණය සඳහා ලබන අගෝස්තු 11 වැනිදා හම්බන්තොට වරායට ඇතුළු වන බවට පළ වූ වාර්තාවකින් පසු ඉන්දියාව සිය දකුණු ප්‍රදේශය පුරා දැඩි සෝදිසි මෙහෙයුම් වැඩිකර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදයක් පවතින අවස්ථාවක් ඉලක්ක කර මෙම චීන නෞකාව, චීනය සතුව ඇති හම්බන්තොට වරායට පැමිණීම ඉන්දියාවේ බරපතළ සැකයට තුඩුදී ඇති බව මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන ‘ද ඉකොනොමික් ටයිම්ස්'(The Economic Times) පුවත් සේවය පවසයි.

මෙම චීන නෞකාව අගෝස්තු 17 වැනිදා දක්වා දින 07ක කාලයක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින බවද වාර්තා අනාවරණය කරයි.

එසේම ඉන්දියානු සාගර ප්‍රදේශයේ වයඹ දෙසින් වන කොටසක් තුළ පරිගණක කළමනාකරණය සහ විශ්ලේෂණ නිරීක්ෂණ සඳහා නෞකාව සිය චන්ද්‍රිකා රූපවාහිනි පද්ධතියක් මෙහෙයවිය හැකි බවටද ඉන්දීය පුවත් සේවා අනාවැකි පළකරයි.

2014 වසරෙන් පසු මෙවැනි චීන නාවික යාත්‍රාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

2014 වසරේදී චීන සබ්මැරීනයක් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලෑ අවස්ථාවේදීද එය ඉන්දියාවේ කෝපයට පාත්‍ර විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now