පුළුවන් නම් ඡන්දයක් තියන්න,අද පොහොට්ටුව වටා ගොඩනැගෙන බලවේගයට ආණ්ඩුව බිය වෙලා, - චානක මාදුගොඩ
වත්මන් රජයට හැකි නම් වහාම මැතිවරණයක් පවත්වා තමන් සතු ජනවරම උරගා බලන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා සෘජු අභියෝගයක් කරයි.
ආණ්ඩුවේ ප්‍රධානීන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන පරිදි ඔවුන් සැබවින්ම රට තුළ ජනප්‍රිය දේශපාලන බලවේගයක් නම් සහ මෙරට බහුතර ජනතාව ඔවුන්ගේ වැඩපිළිවෙළ තවදුරටත් පිළිගන්නේ නම්, ඕනෑම මැතිවරණයකට බියකින් තොරව මුහුණ දීමේ හැකියාව ඔවුන්ට තිබිය යුතු බව අද (28) මාධ්‍ය වෙත විශේෂ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.
රට තුළ කිනම් හෝ මැතිවරණයක් පැවැත්වූ වහාම, මෙරට ජනතාව වත්මන් පාලනය කෙරෙහි තබා ඇති සැබෑ විශ්වාසය කෙබඳු ද යන්න ඡන්ද ප්‍රතිඵල තුළින්ම ආණ්ඩුවට බලාගත හැකි වනු ඇති බව ද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා මේ වන විට රටපුරා ඉතා වේගයෙන් ශක්තිමත් ජනතා බලවේගයක් නැවත ගොඩනැගෙමින් පවතින බවත්, එම දේශපාලන පිබිදීම හමුවේ වත්මන් ආණ්ඩුව දැඩි බියකට හා ලතැවිල්ලකට පත්ව සිටින බවත් මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.
පවතින පාලනය බලයට පත් වූ දිනයේ සිට මේ දක්වාම රටේ සංවර්ධනය හෝ ජනතා ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සෙවීම වෙනුවට, දිනපතාම පාහේ රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් පමණක් විවේචන එල්ල කරමින් දේශපාලන පළිගැනීම්වල නිරත වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.