බීජිං තේ ප්‍රදර්ශනයේදී ලංකා තේ දිදුලයි – ගෝලීය අවධානය ශ්‍රී ලංකාවට
චීනයේ බීජිං නුවර පැවැති 20 වැනි ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ද සහභාගි වී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා තේ සතු සුවිශේෂී ගුණාත්මකභාවය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් හිමිව තිබෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙහිදී මෙරට දේශගුණික කලාප හතක නිපදවන තේවල ඇති විවිධත්වය සහ අද්විතීය රසය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු කර තිබෙනවා.
මෙරට ප්‍රමුඛ පෙළේ තේ සමාගම් කිහිපයක් මෙම අවස්ථාවට එක් වූ බවත්, ඔවුන් චීන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් සිය ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන හඳුන්වා දීමට කටයුතු කර තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.
මෙම වැඩසටහන මඟින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් වූ අතර, ලංකා තේ සඳහා ඇති ජාත්‍යන්තර ඉල්ලුම ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා.
දින 4ක කාලයක් බීජිංහි ජාතික කෘෂිකාර්මික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 20 වැනි බීජිං ජාත්‍යන්තර තේ ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි 1,300ක් පමණ ස්ථාපිත කර තිබුණු අතර, ව්‍යවසායකයන් 700ට වැඩි පිරිසක් තේ සහ තේ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රදර්ශනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ නේපාලය ඇතුළු සහභාගි වන රටවලින් තේ රස බැලීමේ සැසි, සංස්කෘතික තරග සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් රැසක් පවත්වා තිබෙන අතර, සමාරම්භක සැසිය අමතමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා ශ්‍රී ලංකා තේවල අද්විතීය ගුණාංග ඉස්මතු කරමින් එහි සුවිශේෂී රසය, ප්‍රබෝධමත් ස්වභාවය සහ ගෝලීය වශයෙන් පිළිගත් ගුණාත්මකභාවය අවධාරණය කළා.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ තේ, සාපේක්ෂව කුඩා භූගෝලීය ප්‍රදේශයක වගා කළද සුවිශේෂී කෘෂි දේශගුණික කලාප හතක් හරහා වගා කරන අතර රසය, සුවඳ සහ ශක්තියෙන් කැපී පෙනෙන විවිධත්වයක් ලබාදෙන බව තානාපතිවරයා පෙන්වා දුන්නා. මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකික තේ සමාගම් හතරක් ද සහභාගි වී තිබෙන අතර, ඔවුන්ගේ උසස් වෙළෙඳ නාම ප්‍රදර්ශනය කරමින් සහ ජාත්‍යන්තර ගැනුම්කරුවන්, තේ ලෝලීන් සහ කර්මාන්ත වෘත්තිකයන් සමග සම්බන්ධ වී තිබෙනවා. ලාභදායී චීන වෙළෙඳපොළ තුළ ලංකා තේ කෙරෙහි වර්ධනය වන උනන්දුව ඉස්මතු කරමින්, ශ්‍රී ලංකා මණ්ඩපය නරඹන්නන්ගේ සැලකිය යුතු අවධානයක් දිනාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.