දැන්ම ක්‍රියා කරන්න, නැත්නම් ගිණුම වහනවා- බැංකු පාරිභෝගිකයින් බිය වද්දන අලුත්ම මාර්ගගත වංචාව ගැන මහ බැංකුවෙන් රතු නිවේදනයක්
මාර්ගගත මූල්‍ය වංචාවන්ට ගොදුරු නොවී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මහ බැංකුවේ "වංචා ඔප්පු කරන්න" (Scam Proof) දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, වංචාකරුවන් බිය සහ හදිසිභාවය උපයෝගී කරගනිමින් පුද්ගලයන්ගේ පුද්ගලික හා මූල්‍ය තොරතුරු ලබාගැනීමට උත්සාහ කරන බවයි.
"දැන්ම ක්‍රියා කරන්න! ඔබේ ගිණුම පැයකින් අත්හිටුවනු ලැබේ" වැනි හදිසි පණිවිඩ මගින් සිතා බැලීමට අවස්ථාවක් නොදී ඉක්මන් තීරණ ගැනීමට පුද්ගලයන් පෙළඹවීම වංචාකරුවන්ගේ පොදු උපක්‍රමයක් බව මහ බැංකුව පෙන්වා දෙයි.
එබැවින්, විශේෂයෙන් බැංකු ගිණුම්, ගෙවීම් හෝ පුද්ගලික තොරතුරු සම්බන්ධයෙන් වහාම ක්‍රියා කළ යුතු බව දන්වමින් ලැබෙන අනපේක්ෂිත පණිවිඩ, දුරකථන ඇමතුම් හෝ විද්‍යුත් තැපැල් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, කිසිදු තොරතුරක් ලබාදීමට පෙර ඒවායේ සත්‍යතාව අදාළ ආයතනය සමඟ තහවුරු කරගන්නා ලෙසත් මහ බැංකුව ජනතාවට උපදෙස් දෙයි.
මූල්‍ය පාරිභෝගිකයින් දැනුවත් කිරීම, සයිබර් වංචා සහ මාර්ගගත මූල්‍ය වංචාවල අවදානම අවම කිරීම අරමුණු කරගත් අඛණ්ඩ දැනුවත් කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස මෙම පණිවිඩය නිකුත් කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.