පිළිකා සහිත දරුවාට එකතු වුණු මුදල් සොරකම් කරමින් සිදු කළ පව්කාර වැඩේ.

Sri lanka covid 19 Corona virua
By Sithumi Aug 12, 2021 02:00 PM GMT
Sithumi

Sithumi

Report

පිළිකා වැනි දරුණු රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට පිළිසරණක්වීමට මුදල් රැස්කරන බැංකු ගිණුම්වලින් අන්තර්ජාලය ඔස්සේ මුදල් සොරාගන්නා ජාවාරමක් වැටලීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පවසයි. හොරණ පාසලක 9වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් මොළයේ වම්පස කොටසේ හටගත් දරුණු පිළිකාවක් නිසා පීඩා විඳිමින් සිටින්නීය.

කහතුඩුවේ කුලී නිවසක පදිංචි පවුලක එකම දරුවා වන ඇයට සරණක්වීම සඳහා මුදල් රැස්කිරීමට ඇයගේ පාසලේ ගුරුවරුන් හා ආදි සිසුන් ඇතුළු පිරිසක් ෆේස්බුක් සටහන් යොදා තිබුණි. ඒ අනුව පරිත්‍යාගශීලින් වරින්වර මුදල් බැරකර තිබුණේ දැරියගේ පියාට අයත් බැංකු ගිණුමකටය. මේ අතර පසුගිය ජුනි 9 වැනිදා එක් පුද්ගලයෙක් දැරියගේ පියාට ඇමතුමක් ලබා දී තිබුණේ මුදල් පරිත්‍යාග කිරීමට කැමැති බව පවසමිනි.

"රුපියල් 20,000ක් දානවා කියලා හැඳුනුම්පත් අංකය ඉල්ලුවා. ඊට පස්සේ මට බැංකුවෙන් පණිවුඩයක් ආවා රහස් අංකය දෙන්න එපා කියලා. ඒ නිසා මම ඒක දුන්නේ නෑ. ඊට විනාඩි 10කට විතර පස්සේ එයා ආපහු කෝල් එකක් අරගෙන මගෙන් ඇහුවා ගණුමට සල්ලි වැටුණ ද කියලා. මම කිව්වා නෑ කියලා. මට බැංකුවෙන් පණිවුඩයක් ආවා මගේ ගිණුමෙන් ශත 56ක් අඩු වුණා කියලා.

මම ඒක එයාට කිව්වා. ආ හරි කියලා විනාඩියක් ගියේ නෑ රුපියල් 20,000ක් අඩු වුණා. ඊට පස්සේ 25,000ක්. එහෙම දිගටම මැසේජ් එන්න ගත්තා. 300,180ක් අඩු වුණා. ඒ පාර මම පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා." ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 3ක මුදලක් අවස්ථා 9කදී මෙලෙස සොරා ගැනීම පිළිබඳ දැරියගේ පියා ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයට ජූනි 11 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එරාවුර් පොලිස් වසමේ පදිංචිකරුවෙකු මෙම ගිණුමෙන් මුදල් සොරාගෙන ඇති බවය.

25 හැවිරිදි සැකකරු අයියන්කේනි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණි. සැකකරු හෙළිකර ඇත්තේ රෝගීන් සඳහා ආධාර රැස්කරන මෙවැනි ගිණුම් රැසකින් අවස්ථා කිහිපයකදී තමන් මුදල් ලබාගෙන ඇති බවය. ඒ සඳහා යොදාගත් සිම්පත් 17ක්, ජංගම දුරකථන 3ක් මෙන්ම පරිහරණය නොකළ සිම්පත් 7ක්ද පොලිස් භාරයට ගෙන ඇත. එමෙන්ම අනාවරණ වී ඇත්තේ මොහු සිංගප්පූරුවේදී පරිගණක පාඨමාලාවක් හදාරා ඇති අයෙකු බවය


Gallery