මී පැණිවලට සීනි කලවම් කර මී පැණි නිෂ්පාදනය කළ ව්‍යාපාරිකයකුට ලැබුණු දඩුවම

Report

 මී පැණිවලට සීනි කලවම් කර ප්‍රමිතියෙන් තොර මී පැණි නිෂ්පාදනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ව්‍යාපාරිකයකුට මාස 06ක සිරදඩුවමක් වසර පහකට අත්හිටුවීමට කුච්චවේලි මහේස්ත්‍රාත් අරියරත්නම් විල්ප්‍රඩ් අර්ජුන් මහතා ඊයේ (18) නියෝග කර තිබේ.

සැකකරුට රුපියල් 80,000ක් දඩයක් ද නියම කළ මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

මෙසේ දඬුවම් නියම වූයේ පුල්මුඩේ කොට්ඨාස හතර සදාම් නගර් පදිංචි සේරු මොහොමදු නසුර්දීන් නැමැත්තකුටයි.

තවද නඩු භාණ්ඩ වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රුපියල් ලක්ෂ හැට දෙකකට අධික වටිනාකමකින් යුත් සීනි කලවම් කරන ලද ප්‍රමිතියෙන් තොර මී පැණි ලීටර් 1175 ක් විනාශ කර දමන ලෙසට පුල්මුඩේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. ආර්. ඒ. එම්. අකීල්ට නියෝග කර තිබේ.

ඒ වගේම මී පැණිවලට සීනි කලවම් කර ප්‍රමිතියෙන් තොර මී පැණි නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කළ සියලු යන්ත්‍ර සහ උපකරණ රාජ සන්තක කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

තවද මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළේ සැකකරු ඔහුට එරෙහිව තිබූ චෝදනා හතරටම අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුවය.