ලංකා බැංකුවේ නේවාසික පුහුණුව අතරතුර තරුණයෙක් ජීවිතක්ෂයට - හේතුව මෙන්න
ලංකා බැංකුවේ මාණ්ඩලික සහකාර තනතුරට තෝරා ගැනුණු ආධුනිකයන් පිරිසක් සඳහා තුල්හිරිය MAS Athena ආයතනයේ පැවැති නේවාසික පුහුණු පාඨමාලාවක් අතරතුර එහි වැසිකිළියක් තුළ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි තරුණයාගේ මරණයට හේතුව අනාවරණය වී ඇත.
ඒ අනුව කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය මංගල කුමාර මහතා එය හුස්ම සිරවීමක් බවට නිගමනය කර තිබේනවා.
මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ අරණායක, නාරංගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි වලිසුන්දර මුදියන්සේලාගේ අකිල විමුක්ති වලිසුන්දර නැමැති 21 හැවිරිදි තරුණයෙක් වේ.
ඔහුගේ මවුපියන් දෙපළම ගුරුවරුන් වන අතර පවුලේ වැඩිමලා වූ ඔහුට බාල සහෝදරයකු ද සිටියි.
දරුවගේ පන්තිය ඉස්සරහට ගිහින් ඔයාගේ අම්මා බල්ලෙක් වගේ හැසිරෙන්නේ කියලා - සිරිමාවෝ විදුහල්පතිනියට තවත් චෝදනා රැසක්
ලංකා බැංකුවේ මාණ්ඩලික සහකාර තනතුර වෙනුවෙන් අයදුම්පත් යොමු කළ විසි දහසකට අධික පිරිසක් අතරින් තෝරා ගැනුණු 258 දෙනා අතරට මොහු ද අයත් වූ අතර, තෝරාගත් කණ්ඩායමේ සිටි ලාබාලතම සාමාජිකයා ද මොහු බව වාර්තා වේ.
එහිදී ආධුනිකයන් පිරිස සඳහා ලංකා බැංකුව සංවිධානය කරන ලද දින පහක නේවාසික පුහුණු වැඩමුළුව පසුගිය 16 වැනිදා ආරම්භ වී ඇති අතර ඒ සඳහා මෙම තරුණයා ඇතුළු පිරිස එදින තුල්හිරිය MAS Athena වෙත ගොස් තිබෙනවා.
ඒ අනුව වැඩමුළුවේ සිව්වැනි දිනය වූ පසුගිය 19 වැනි දින මෙම තරුණයා උදෑසන සහ දිවා ආහාරය ලබා ගැනීමට පැමිණ නොතිබුණ ද වැඩමුළුව සංවිධානය කළ බැංකු නිලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කර නැති බවත්, එම කාලසීමාව තුළ අදාළ වැසිකිළි පද්ධතිය පිරිසිදු කිරීමට ද සේවකයන් ගොස් නැති බවත් තොරතුරු හෙළිව ඇත.
පසුව එදින සවස 5.00ට පමණ දේශන අවසන් කර දිය නෑම සඳහා ගිය වෙනත් තරුණයෙකු විසින් අදාළ තරුණයා වැසිකිළිය තුළ ඇද වැටී සිටිනු දැක ඒ බව සෙසු පිරිසට දැනුම් දී තිබෙනවා.
ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී තරුණයාගේ ගෙල වටා ඔහුගේ ටයි පටිය සහ වැසිකිළි දොරට සවි කර තිබූ කළු පැහැති දිගු රබර් පටියක් ගැට ගැසී තිබෙන බව දැක වහාම ක්‍රියාත්මක වූ ඔවුන් එම පටි ලිහා දමා ඔහුව ගිලන් රථයකින් වරකාපොළ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
එහෙත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය තහවුරු කරයි. මේ සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වරකාපොළ වැඩ බලන මහෙස්ත්‍රාත් චමින්ද ඩී. කොටුවේගොඩ මහතා විසින් ඊයේ (21) පෙරවරුවේ මළ සිරුර සහ ස්ථානීය පරීක්ෂණ සිදු කර ඇත.
එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු සිරුර පියා වන වලිසුන්දර මුදියන්සේලාගේ චමල් බණ්ඩාර මහතාට භාර දීමටත්, වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණා.
මේ අතර මෙම මරණය සම්බන්ධයෙන් එම වැඩමුළුවට සහභාගි වූ සෙසු තරුණයන් 15 දෙනෙකුගෙන් පමණ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන වරකාපොළ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුදිත බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක සිරිමාන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙහෙයවන බව සඳහන්.