නැවත දැනුම්දෙන තුරු මුහුදු යාම සපුරා තහනම් - කාලගුණයෙන් හදිසිම රතු නිවේදනයක්
කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා වූ මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවයි.
ඒ අනුව, එම මුහුදු කලාපය තුළ සියලුම ධීවර හා නාවික කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දී ඇත.
මේ අතර, ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි විය හැකි බවත්, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් අනතුරු අඟවා තිබේ.
තවද, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු කලාපවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදේ කටයුතු කිරීමේදී දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.