පවුල් විසින් අත හැර දමූ හෝ අමතක වූ මළසිරු වල අයිතිකරුවන් සොයයි..
මේ වනවට මාස හයකට අධික කාලයක සිට හඳුනා නොගත් මෘතශරීර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මෘතශරීරාගාරයේ ගබඩාකර ඇති බැවින් දිනපතා එකතුවන මෘතශරීර ගබඩා කර තබා ගැනීම විශාල ගැටලුවක් බවට පත්වී ඇති බව එම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ පවසා තිබේ .
හදිසි මරණ පරීක්ෂකවරයා පවසන්නේ මෙම මෘතශරීර බොහොමයක් හදිසි අනතුරු නිසා පොලිසිය බාරදුන් ඒවා බවයි.
එමෙන්ම මේ වනතුරුත් හිමිකරුවන් ඉදිරිපත් නොවීම නිසා පරීක්ෂණ කටයුතු සිදුකර එම මෘත ශරීර ඉවත් කිරීමට අපහසුවී ඇති බැවින් ඒවා බාරදුන් පොලිසිය මගින් හෝ අතුරුදන්වීම් සිදුවී ඇති ඥාතීන් ඉදිරිපත් වී පරීක්ෂණ සිදුකරවා ගෙන කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසට අවස්ථා ගණනාවකදීම පොලිසිය සහ මහජනතාව දැනුවත් කළ බව ද ඔහු පැවසීය .
එමෙන්ම බොහොමයක් මෘතශරීර කොහුවල, මොරටුමුල්ල, කිරුළපන, මොරටුව, ඉංගිරිය, මහරගම, මරදාන, පිළියන්දල, වාද්දුව සහ එගොඩ උයන යන පොලිස් ස්ථාන මගින් බාරදී ඇති බවයි ඔහු සඳහන් කළේ.