රන්වලගේ 'Dr.' ටයිටල් අස්සේ නලින්දයි බිමලුයි පැටලේ
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අද (20) කැබිනට් මාධ්‍ය හමුවේදී සහ දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ, හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තවමත් ඔහුගෙන් කිසිදු දැනුම්දීමක් නොලැබුණු බවයි.
මීට වසරකට පෙර (2024 නොවැම්බර් පමණ) රන්වල මහතා විසින් ඉදිරිපත් කළ කාරණයක් මත තමන් ඔහු ඉතා ඉක්මනින් සහතිකය ඉදිරිපත් කරනු ඇතැයි ප්‍රකාශ කළ බවත්, දැන් සැලකිය යුතු කාලයක් ගත වී ඇතත් එය සිදු නොවූ බවත් ඔහු පැවසීය. එහෙත් තවමත් ඔහුට එය ඉදිරිපත් කිරීමට කාලය ඇති බවත්, ඉක්මනින් දැනුම් දෙනු ඇතැයි සිතන බවත් නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.
වැඩසටහනේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේද කීවේය;
“තමන් සිතන ආකාරයට” අශෝක රන්වලට ආචාර්ය උපාධියක් නොමැති බව මිස, රන්වලට ආචාර්ය උපාධියක් නොමැති බව නොවේ බවත් ඔහු පැහැදිලි කළා. එනම්, තමන්ගේ පුද්ගලික මතයක් ලෙස එය නොමැති බව සිතන නමුත්, එය තහවුරු කිරීමට සහතිකයක් තිබේද නැද්ද යන්න රන්වල මහතාගෙන්ම තහවුරු විය යුතු බවයි.
මෙම ගැටලුව 2024 අග භාගයේ සිට ආරම්භ වූ අතර, රන්වල මහතා කතානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුවක් ලෙසත් සඳහන් වුණා. ඔහු විසින් ජපානයේ වසේඩා විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයකින් ලබාගත් බව කියන ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් මහජනයාගේ සහ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රශ්න ඇති වුණා. පාර්ලිමේන්තු වෙබ් අඩවියේදී ඔහුගේ නමෙන් "Dr." ටයිටල් ඉවත් කිරීමත් මේ ආන්දෝලනය තවදුරටත් උත්සන්න කළා.
අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ මෑත ප්‍රකාශයකදීත් ඔහු සඳහන් කළේ, මෙතරම් කාලයක් ගත වී ඇති නිසා රන්වලට සහතිකයක් නැතැයි සිතන බවයි එය දේශපාලනිකව ලොකු දඬුවමක් ලෙසත් විස්තර කළා.