2029 දී ජනාධිපති වෙන්නෙත් අනුර ඒ හැර වෙන සුදුස්සෙක් නෑ - පක්ෂෙන් අතෑරියත් සමන්ත අනුර වෙනුවෙන් හිට ගනී
2029 වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් වී එය ජය ගැනීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හැර වෙනත් විකල්පයක් නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ගුවන් විදුලියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය පක්ෂය විසින් ගනු ලැබුවද, තමාගේ පුද්ගලික විශ්වාසය වන්නේ ඒ සඳහා අනුර දිසානායක මහතාම ඉදිරිපත් විය යුතු බවයි.
එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සිය පක්ෂයේ ප්‍රතිපත්තිමය පොරොන්දුවක් වුවද, ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහා ඉදිරිපත් විය යුතු එකම පුද්ගලයා අනුර දිසානායක මහතා බව ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.
මේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා ඇත්තේ ඒ සඳහා සමස්ත ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවත්, ජනාධිපතිවරයා සතු බලතල විධිමත් ආකාරයට බෙදා හැරීමට ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍ය බවත්ය.
එසේම රජයේ වත්මන් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ තමන් භාර ගත්තේ "අසාධ්‍ය ලෙඩෙකු" බඳු රටක් බවත්, මේ වන විට එම රෝගියා සුවපත් වෙමින් පවතින බවත්ය.
තවද ඔහු රටේ නීතිය ක්‍රියාත්මක වීම, මත්කුඩු සහ පාතාලය තුරන් වීම මෙන්ම සමාජය තුළ විනයක් ගොඩනැඟීම හරහා රට නැවත දළුලන බව ජනතාවට මේ වන විටත් වැටහෙමින් පවතින බව පවසා ඇති බව සඳහන්.
ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී ඇති බවට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් තවදුරටත් විද්‍යාරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ, සියලු බලාපොරොත්තු එකවර ඉටු නොවීම හේතුවෙන් ජනතාව තුළ යම් හිත් අමාරුකම් තිබිය හැකි වුවද, රටේ සිදුවන යහපත් වෙනස බහුතර ජනතාව අගය කරන බවයි.