අම්බුළුවාවට තහනම් නියෝගය ඉදිරියට
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීම පිළිබඳව උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු වගඋත්තරකරුවන් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කර ඇත.
පෙබරවාරි මස 24 වනදා දක්වා එම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන බව අභියාචනාධිකරණය නියම කළ අතර අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පෙත්සම කැදවනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස නියම කළ විනිසුරු මඩුල්ල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ජනවාරිම 30 වන දා ගොනුකරන ලෙසත් පාර්ෂවකරුවන්ට නියෝග කර ඇත.
ඉන් අනතුරුව පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 22 වනදා කැඳවන ලෙසත් නියම විය. මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රුවන්ත කුරේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම කරුණට අදාළව නිකුත් කර තිබෙන තහනම් නියෝගය මීළඟ නඩු දිනය තෙක් දීර්ඝ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ අතුරු තහනම් නියෝගය ලබන 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස නියෝග කර ඇත. මෙම පෙත්සමින් වග උත්තරකරුවන් ලෙස ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න, ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා, මහනුවර දිසා ලේකම්වරයා සහ ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා නම් කර තිබුණි.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය පවත්වාගෙන යන ඉඩම සඳහා ලබා දී තිබෙන බලපත්‍රය අවලංගු කරන ලෙස වග උත්තරකරකාර උඩ පළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ද්වේෂ සහගත ලෙස ක්‍රියා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවයි.
තමන් කිසිදු ආකාරයක කොන්දේසි උල්ලංඝනය කිරීමක් හෝ නීති විරෝධී ක්‍රියාවක නිරත වී නොමැති බවත් ඒ අනුව වග උත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.