ත්‍රීකුණාමල බුදු පිළිම ප්‍රශ්ණේ ලැව් ගින්නක් වෙලා ජනාධිපතිටත් ලිපියක්
ත්‍රිකුණාමලයේ විහාරස්ථාන භූමියක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් පොලීසිය විසින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානාහිමි විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.
මෙම විහාරස්ථානය 1951 වසරේ සිට පවත්වාගෙන එන ලබන විහාරස්ථානයක් වන අතර, එය බෞ.කො./විහා දේ / 15/15/009 යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ ලියාපදිංචි කරන ලද විහාරස්ථානයක් බව අදාළ ලිපියේ සඳහන් වේ. ඒ අනුව 2014 වර්ෂයේ දී මෙම විහාරස්ථානය පිහිටි ඉඩමට එවක ජනාධිපතිවරයා විසින් දීමනා පත්‍රයක් මඟින් හිමිකම් තහවුරු කර ඇති බව ද අදාළ ලිපියේ දැක්වේ.
කරුණු එසේ තිබියදීත්, ඒ හිමිකම් දීමනා ප්‍රදානයන් හා රජයේ ලියාපදිංචිව ඇති මෙම විහාරස්ථානයට හා භික්ෂූන් වහන්සේලාට එල්ලවී ඇති තර්ජන අභියෝග මහා සංඝරත්නයේ සේම බෞද්ධ ජනතාවගේ ද සිත් තැවුලට හේතු වී ඇති බව ද ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ය. විශේෂයෙන්ම ඊයේ (16) දින සිදු වූ සිද්ධීන් පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින බව ද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපුජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.
විහාර භූමියේ බුදුපිළිම ඉවත් කිරීමට හා භික්ෂූන් වහන්සේලාට පහරදීමට පොලීසිය කටයුතු කළේ, කවරෙකුගේ වුවමනාවන් වෙනුවෙන් දැයි ප්‍රශ්න සහගත බවද එම පහරදීම හේතුවෙන් විහාරාධිපති හිමියන්ට රොහල් ගත වෙන්න සිදු වී ඇති අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ද අදාළ ලිපියේ තවදුරටත් සඳහන් වේ.
පොලීසියේ එම අනීතික හැසිරීම තරයේ හෙළා දකින අතර, ජනාධිපතිවරයාගේ අවධානය මේ පිළිබඳව කඩිනමින් යොමුකොට දැනට කඩා ඉවත් කිරීමට යෝජනා කර ඇති ගොඩනැගිල්ල ඉවත් නොකරන ලෙසත් විහාර භූමියේ, විහාරස්ථානයේ හා භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදාළ අංශ දැනුවත් කොට කඩිනම් පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සටහන්ව තිබේ.