ගිනි ගත් නෞකාවේ ද්‍රව්‍ය ස්පර්ශ කළ පිරිසකට ආසාත්මිකතා

colombo wattala negombo express pearl allergies
By Sewvandhi May 27, 2021 10:58 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගැසූ භාණ්ඩ හා අපද්‍රව්‍ය ස්පර්ශ කළ පුද්ගලයන් කිහිප දෙනෙකුට විවිධ අසාත්මිකතා හටගෙන ඇතැයි වාර්තා වන බව සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම්ලා තිබියදී ගිණිගැනීමට ලක්වූ මෙම නෞකාවේ ගින්න තවමත් ක්‍රියාත්මකයි. නාවික හමුදාව හා වරාය අධිකාරිය ඇතුලු පාර්ශව එම ගින්න මැඩපැවැත්වීම සඳහා තවදුරටත් කටයුතු කරමින් පවතිනවා.

මෙම නෞකාවෙන් මුහුදට වැටුණු සුන්බුන් වත්තල - ප්‍රීතිපුර සිට මීගමුව දක්වා වෙරළතීරයට ඊයේ අලුයම සිට ගොඩගසා තිබුණා. නිරෝධායන රීති හා සංචරණ සීමා පවා උල්ලංඝණය කරමින් එම ද්‍රව්‍ය එක්රැස් කල පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කළේ.

මෙම සුන්බුන් සමග ඉන්දියාවේ කලු දිලීර රෝගය පවා සම්ප්‍රේෂණය විය හැකි බැවින් ඒවා ස්පර්ශ කිරීමෙන් වැලකිය යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දුන්නා

මෙලෙස වෙරළට ගසාගෙන ආ සුන්බුන් ද්‍රව්‍ය නිසා අපවිත්‍රවූ මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් වත්තල උස්වැටකෙයියාව සිට දුන්ගල්පිටිය දක්වා වෙරළතීරයේදී, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් අද පෙරවරුවේ සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව තෙල් විෂ වීම දැඩි වුවහොත් ඊට අවශ්‍ය පියවර ගැනීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සමාරක්ෂා සහ සමූද්‍රාරක්ෂා යන නෞකා 2ක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම්ලා පවතිනවා.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ තෙල් විසිරීමකදී ඊට ප්‍රතිචාර දැක්විය හැකි සීමිත පහසුකම් මෙම නෞකා 2 සතුව පවතින බවයි. මේ අතර මෙම තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශ වලට අම්ල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මේ දින වල වර්ෂාවට ඍජුව නිරාවරණය නොවන ලෙසද සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම් දෙන්නේ.

මේ අතර, ගිනි ගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රෙස් -පර්ල් නෞකාව කොළඹ වරායට පැමිණීමට පෙර ඉන්දියාවේ සහ කටාර් රාජ්‍යයේ වරායන් 2 කට ඇතුලුවීමට උත්සාහ දරා ඇති බව වාර්තා වනවා.

එහෙත්, එම වරායන් දෙකම ඊට අවසර ලබා දී නොමැති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. මෙම නෞකාවේ ගින්නට හේතුව ඒ තුල ප්‍රවාහනය කරමින් තිබූ රසායන ද්‍රව්‍ය වල හටගත් කාන්දුවක් බව එක්ස්ප්‍රස් නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂ ටින් හාර්ට් නොල් ප්‍රකාශ කර තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now