ජනතාවට විශේෂ දැනුම්දීමක් - රත්කිඳ ජලාශයේ ජල මට්ටම ඉහළට - සියලු වාන් දොරටු විවෘත කරයි
පවතින වර්ෂාවත් සමඟ උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ජලාශයේ පිටවානේ ගේට්ටු සියල්ල (හතම) තත්පරයට ඝනමීටර් 49.0 බැගින් අද (6) දින දහවල් විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශභාර නිලධාරි දීප්ත ජයසේකර මහතා ප්රකාශ කර ඇත.
ඒ අනුව මාපාකඩවැව කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතාගේ උපදෙස් මත මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු විවෘත කිරිමත් සමඟ ඊට පහළින් පිහිටි ගිරාදුරුකෝට්ට රත්කිද කෝසුව ජලයෙන් යටවී ඇත.
එනිසාවෙන් එම මාර්ගයේ ගමන් කිරිමට නොහැකි හෙයින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටද දැනුම් දෙයි.
මේ අතර මහවැලි සී. කලාපයට වාරි ජලය නිකුත් කිරිම අවම ප්රමාණයකින් සිදුවන බවත්, මාදුරුඔය ජලාශයට උපරිමව ජලය නිකුත් කරන බවත් පවසන උල්හිටිය රත්කිද ජලාශය භාර නිලධාරි දීප්ත ජයසේකර මහතා සඳහන් කළේ ජලාශයේ ජල මට්ටම රැදවුම් ධාරිතාව ඉක්මවා යාමට ආසන්න හෙයින් ආරක්ශිත පියවරක් වශයෙන් මෙසේ උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු සියල්ල විවෘත කළ බවයි.