AI තාක්ෂණය නිසා රැකියා අහිමිවීමක් - ඉන්ධන සංස්ථාවේ සේවකයින් 1,200කට වැඩි පිරිසක් අඩු වෙයි
කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් කාර්යාල පරිපාලන හා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ස්වයංක්‍රීය කිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු වී ඇති බව එහි ඉහළ නිලධාරියෙකු පවසයි.
ඒ අනුව, 2024 වසරේදී සේවකයින් 3,292ක් සිටි සංස්ථාවේ මේ වන විට සේවක සංඛ්‍යාව 2,031 දක්වා අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කර තිබේ.
කොළඹදී පැවති WION Digital Sri Lanka Summit 2026 සමුළුවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ලේඛන සකස් කිරීම සහ පරිවර්තන කටයුතු ඇතුළු මීට පෙර අතින් සිදුකළ කාර්යයන් රැසක් ස්වයංක්‍රීය කර ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
නව ඩිජිටල් ක්‍රමවේදය යටතේ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට ජංගම දුරකථන යෙදුමක් හරහා ඉන්ධන ඇණවුම් කිරීම සහ ඒ සඳහා ගෙවීම් සිදුකිරීමේ හැකියාව පවතී. එම යෙදුම සමාගමේ SAP ව්‍යවසාය කළමනාකරණ පද්ධතිය සමඟ සෘජුව සම්බන්ධ කර තිබේ.
ඒ අනුව, පිරවුම්හල් හිමියන් ගෙවීම් සිදුකළ පසු ඒවාට අදාළ ඉන්වොයිසි සකස් කිරීමද ස්වයංක්‍රීයව සිදුවන බව ඔහු සඳහන් කර ඇත.
දිනපතා පෙරවරු 6.00ට ලැබෙන ඉන්ධන ඇණවුම් පද්ධතිය මඟින් සැකසෙන අතර, මීට මාස තුනකට පමණ පෙර සිට සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත ක්‍රමවේදයකටද යොමු වී තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි - දකුණු අන්දමන් සහ ගිනිකොනදිග බෙංගාල බොක්කේ කැළඹිලි ගැනත් අනතුරු ඇඟවීමක්
ඒ අනුව භෞතික ඉන්වොයිසි මුද්‍රණය කිරීමද නතර කර ඇත. එමෙන්ම ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ සඳහා කාලසටහන් සකස් කිරීමේදී මීට පෙර පැවති අතින් සිදුකරන ක්‍රමවේදය වෙනුවට කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ ස්වයංක්‍රීය පෝලිම් ක්‍රමයක් හඳුන්වා දී ඇති බවද කළමනාකාර අධ්යක්ෂවරයා පැවසීය.
එමඟින් ඉන්ධන ප්‍රවාහනය සඳහා ප්‍රමුඛතාව ලබාදීමේදී බාහිර බලපෑම් ඇතිවීම වැළැක්වීමට හැකි වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ.
මීට පෙර බලපෑම් කළ හැකි පුද්ගලයින් දුරකථන ඇමතුම් ලබාදී ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ පිටත්කර හැරීමේ අනුපිළිවෙළ වෙනස් කිරීමට සේවකයින්ට බලපෑම් කළ හැකි වූ බවද ඔහු සඳහන් කර ඇත.
නව ක්‍රමවේදය යටතේ ඇණවුමක් ඉදිරිපත් කළ වේලාව අනුව එහි ප්‍රමුඛතාව තීරණය වන බැවින් වෙනත් පුද්ගල බලපෑම් මත එම අනුපිළිවෙළ වෙනස් කළ නොහැකි බවද ඔහු අවධාරණය කර තිබේ.
මීට අමතරව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2010 වසරේදී හඳුන්වා දුන් SAP මෘදුකාංග පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරමින් වලාකුළු පදනම් කරගත් SAP S/4HANA RISE පද්ධතියක් වෙත යොමු වෙමින් සිටින බවද වාර්තා වේ.