ආණ්ඩුවට රතු එළි දැල්වූ ප්‍රභලයෙකු සියලු තනතුරු වලින් ඉවත් කෙරේ.

Sri Lanka Agriculture ministry Mahindananda aluthgamage Propeser marabe
By Aruna Oct 26, 2021 07:34 AM GMT
Aruna

Aruna

Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මහාචාර්ය මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරු අහිමි වෙයි ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන් යන සියලු තනතුරුවලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට උපදෙස් ලබා දී තිබේ.

මහාචාර්ය මාරඹේ මහතා රසායනික පොහොර ආනයනය කරන සමාගමක් වන CIC හෝල්ඩින් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර, ඉකුත් රජය ග්ලයිපෝසේට් ආනයනය නතර කිරීමට එරෙහිව නායකත්වය ගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර වත්මන් රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් ද මාරඹේ මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී තිබිණ.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල මාරඹේ මහතා දරන තනතුරු සියල්ලෙන් ඔහුව ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

මීට අදාළ අමාත්‍යවරයාගේ ලිපිය අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාට යවා ඇත.

ජයසූරිය උඩුකුඹුර අමාත්‍ය මාධ්‍ය ලේකම්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now