නාවික හමුදා වේග යාත්‍රාවක ඉන්දීය ධීවර යාත්‍රාවක් ගැටේ..අයෙක් මරුට.02ක් බේරා ගැනේ.

Sri Lanka Jaffna Navy
By Aruna Oct 19, 2021 07:49 AM GMT
Aruna

Aruna

Report

යාපනය - කෝවිලම් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් පෙරළීමෙන් එහි සිටි ධීවරයෙකු අතුරුදන්ව තිබෙනවා.

ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් ඊයේ පස්වරුවේ අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදේ මසුන් මරමින් සිට ඇති අතර, එම පිරිස නාවික හමුදාව විසින් පලවා හැරීමට යාමේදී අදාළ යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදාව සදහන් කළේ.

නාවික හමුදා යාත්‍රා මඟ හැරීම සඳහා ඉතා අනතුරුදායකව අදාළ යාත්‍රාව හසුරුවා ඇති අතර එම අවස්ථාවේ පෙරලුණු යාත්‍රාවේ සිටි ධීවරයින් දෙදෙනෙකු එම මොහොතේ නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවේ අදාළ යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාර යාත්‍රාවක ගැටීමට සලස්වා ඇති අතර, ඒ හේතුවෙන් එම යාත්‍රාවට හානි සිදුව තිබෙනවා. බේරා ගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරින් දැනුවත් කිරීමට පියවර ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

අතුරුදන්වූ ධීවරයා සෙවීම සඳහා කිමිඳුම්කරුවන් කණ්ඩායමක් නාවික හමුදාව විසින් යොදවා තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මුහුදේ මසුන් අල්ලන ධීවරයින්ට ප්‍රහාර එල්ල විය හැකි බව තමිල්නාඩු පොලීසිය ඉන්දීය ධීවරයින්ට ඊයේ අනතුරු ඇගවීමක් ද සිදු කළ අතර, එවන් පසුබිමකයි මෙම ඉන්දීය ධීවර යාත්‍රා නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු තීරයට ඇතුළු වී ඇත්තේ.

එසේම, උතුරු නැගෙනහිර, ධීවරයින් ද පෙරේදා ගැඹුරු මුහුදේ කළුකොඩි ඔසවා ධීවර යාත්‍රාවල සිට විරෝධතාවල නිරත වූයේ තම මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයින් කොල්ලකන බවට චෝදනා කරමින්.

මෙම ගැටලුව විසඳීම සඳහා ධීවර අමාත්‍යවරයාගේ මැදිහත්වීමක් සිදු නොකරන බවටයි ඔවුන් චෝදනා කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now