කොරෝනා ආසාදිත බිරිඳව නිදි යහනේ ඝාතනය කර වෙනත් කාන්තාවක් සමග දීගකෑමට සැලසුම්කළ ව්‍යාපාරිකයා

covid19 boralasgamuva Kalani Yasintha Kaluowila hospital
By Sewvandhi Sep 22, 2021 11:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා රෝගයෙන් ආසාදිතව සිටි සිය බිරිඳ ව නිදි යහන මත ඝාතනයකර ඇයගේ දේපල ලබාගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක් හා දීගකෑමට සැලසුම්කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවටගත් බව බොරලැස්ගමුව පොලිසිය පැවසීය. ඝාතනයට යොදාගත් අඩක් පිළිස්සී ගොස් තිබූ කොට්ටය සහ ඇඳ ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇත.

එලෙස ඝාතනය කර තිබුණේ බොරලැස්ගමුවේ පදිංචිව සිටි 45 හැවිරිදි කලණි යසින්තා මාපලගම නමැති දෙදරු මවකි. ඇයට වයස අවුරුදු 13ක පුත්‍රයෙක් සහ වයස අවුරුදු 06ක දියණියක් සිටින බවත් පොලිසිය පැවසීය.

මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් 15 වනදා රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති සැකකරු එම සහෝදරයා පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ රෝහල කරා ගෙනගොස් තිබූ බවත් පොලිසිය කීය.

සිරුර රෝහලට රැගෙන යෑමෙන් පසු වෛද්‍යවරුන් විසින් එය පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු ළ යුතු බවත් පවසා ඇත. ඉන්පසු සිදුකළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.

එහෙත් එම ව්‍යාපාරිකයාගේ හැසිරීම ගැන සැකකළ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සහෝදරයා ඒ බව බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජි. විජේරත්න මහතා හමුවී පැවසීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන ලෙසද ඔහුට උපදෙස් දී තිබුණි. ඒ අනුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එම පුද්ගලයා සියල්ල පාපොච්චාරණය කර තිබේ.

47 හැවිරිදි එම සැකකරු වාහන අමතර කොටස් වෙළෙඳාම ව්‍යාපාරයක් ලෙස සිදුකරන අයෙකි. මියගිය කාන්තාවට තමන් පදිංචිව සිටින නිවාස සහ දේපල සියල්ල අයිති බැවින් ඒවා අයිතිකර ගැනීම සඳහා සහ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වන බැවින් ඇයව විවාහකර ගැනීම සඳහා මෙම ඝාතනය සැලසුම් කොට සිදුකළ බවත් ඔහු පාපොච්ඡාරණය කළ බව පොලිසිය පැවසීය.

සැකකරු 20 වනදා අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගංගොඩවිල අධිකරණය විසින් නියෝග කර තිබු බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now