"බිරිඳට අනියම් සම්බන්ධතා කිහිපයක්ම තිබ්බා, යහපත් මඟට ගන්න හැදුවත් හරි ගියේ නැහැ.." - බිරියගේ මුහුණ කැත වෙන්න සැර දියරයක් එල්ල කළ සැමියා..

By Sewvandhi Dec 01, 2021 09:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනියම් ඇසුරක යෙදුණු බව කියන සිය බිරියගේ මුහුණ විරූපී කිරීමේ අරමුණින් මුහුදු බෙල්ලන් සේදීමට ගන්නා සැර දියරයක් එල්ල කර පොලිස් පරීක්ෂණද නොමඟ යවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ කුලී නිවෙසක පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්.

ඉකුත් සැප්තැම්බර් 27දා රාත්‍රි 10ට පමණ පෞද්ගලික ආයතනයක රාජකාරිය නිමකර ඔවුන් පදිංචි කුලී නිවෙසට එමින් සිටියදී එම දෙදරු මවට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ඇයගේ ස්වාමිපුරුෂයා පොලිසියට පැමිණිලි කර කියා ඇත්තේ, කිසියම් පුද්ගලයකු විසින් මඟ රැක සිට සිය බිරියට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවත් ඒ මොහොතේ තමන් රත්මලාන ප්‍රදේශයේ රැඳී සිටිය බවයි.

කෙසේ වුවද මාස දෙකකට අධික කාලයක් පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. නයනජිත් ඇතුළු පොලිස් කණ්ඩායම පරීක්ෂණ කර ඇති අතර සැකකරුගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී ඇසිඩ් ප්‍රහාරය එල්ල වන මොහොතේ ඔහු වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ රැඳී සිට ඇති බවත් ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව රත්මලාන ප්‍රදේශයට ගමන්කර ඇති බවත් තහවුරු වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී වාද්දුව, පොතුපිටිය මහා විදුහල අසල ශාන්ත රූපසිංහ මාවතේ තාප්පය අසල සැඟව සිට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට පිළිගෙන ඇති බව පොලිසිය කියයි.

අනියම් සබඳතා කිහිපයක් පවත්වා ඇති සිය බිරිය යහමඟට ගැනීමට දැඩි උත්සාහයක නිරතව එය අසාර්ථක වීමෙන් අනතුරුව ඇයගේ මුහුණ විරූපී කිරීමේ අරමුණින් මුහුදු බෙල්ලන් සේදීමට යොදා ගන්නා අධිසැර රසායනික දියරයක් (හයිඩේ‍රා්ක්ලෝරීන් අම්ලය) මුහුණට දමා ගැසූ බවට සැකකරු ප්‍රකාශ ලබාදී ඇතැයිද පොලිසිය කියයි.

මරණ චේතනාවෙන් ප්‍රහාරය එල්ල කර නොමැති බවට ප්‍රකාශ ලබාදී ඇති සැකකරු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇයගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බවටද තහවුරු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටිනවා. සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW