මුඛ ආවරණය අමතකද? – සෞඛ්‍ය අමාත්‍යාංශය අවවාද කරයි!
ශ්‍රී ලංකාවේ මේ දිනවල ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවෙන්සා සහ කොවිඩ්-19 රෝගීන්ගේ වාර්තාවීමේ යම් ඉහළ යාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කෙසේ වෙතත්, මෙය වසංගත තත්ත්වයක් නොවන බවත්, ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඔහු අවධාරණය කරයි.
ඊයේ (04) රාත්‍රියේ පෞද්ගලික නාලිකාවක ඔස්සේ විකාශය වූ "අලුත් පාර්ලිමේන්තුව" වැඩසටහනට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේය. එම වැඩසටහනට සහභාගී වූ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ, කොවිඩ්-19 රෝගය සම්බන්ධයෙන් මේ වන විට බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
වෛද්‍ය ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ,
"පහුගිය වසරවල ජුනි සහ ජුලි මාසවල ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය ඉහළ යන බව අපි දන්නවා. එම මදුරුවාම චිකුන්ගුන්‍යා රෝගය පැතිරවීමටත් හේතු වෙනවා. ඒ නිසා මේ රෝග දෙකම ඉහළ යාමේ අවදානමක් තිබෙනවා. ඒ වගේම, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ සංඛ්‍යාවේත් යම් වැඩිවීමක් දකින්න ලැබෙනවා. මෙම රෝගයෙන් විශේෂයෙන් ඇතැම් වයස් කාණ්ඩවල පුද්ගලයින්ට බරපතළ තත්ත්වයන් ඇති විය හැකි අතර, සමහර අවස්ථාවල මරණය දක්වාම තත්ත්වය උග්‍ර විය හැකියි."
"වෛරස් හේතුවෙන් ඇතිවන ස්වසන රෝගයක ලක්ෂණ පෙන්නුම් කරනවා නම්, මුඛ ආවරණ පැළඳීමෙන් අනෙක් අයට රෝගය බෝවීම වැළැක්විය හැකියි. ඒ වගේම, යම් තත්ත්වයක් උද්ගත වුවහොත්, මුඛ ආවරණ පැළඳිය යුතු බවට රජය නිවේදනයක් නිකුත් කරනවා. අපි ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් පසුබසින්නේ නැහැ. නමුත්, වර්තමාන තත්ත්වය යටතේ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාවක් නැහැ. රෝග තත්ත්වයන් දැන් සාමාන්‍ය තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා, විශාල සංකූලතා හෝ මරණ ඇතිවන තත්ත්වයක් මේ වන විට නැහැ."
සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට සහ රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආරක්ෂිතව කටයුතු කිරීමටයි. එමඟින් රෝග පැතිරීම පාලනය කිරීමටත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් හැකි වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.
