භයානක තත්ත්වයක් - සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම අක්‍රීයයි
සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම පවතින්නේ අක්‍රිය තත්ත්වයක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ ප්‍රකාශ කළා.
ඒ අද(05) දින පැවැත්වීමට නියමිත ‘සුනාමි ආපදා’ පෙරහුරු වැඩසටහන සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) දින පැවැති මාධ්‍ය හමුවේදීයි.
අඳාළ සුනාමි කුලුනුවලට සංඥා ලබාදීමට අදාළව අභ්‍යාවකාශයේ රඳවා තිබූ චන්ද්‍රිකාව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77 ක්‍රියාත්මක නොවන බව ඔහු පවසා ඇත.
එසේම මෙම සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු යළි සක්‍රීය කරගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ඔස්සේ ජාත්‍යන්තර සංවිධාන කීපයක් සමග සාකච්ඡා කරමින් පවතින බවද ඔහු කියා ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ මේ වන විට වසර තුනක සිට සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු අක්‍රිය තත්ත්වයක පවතින බවයි.
කෙසේ වෙතත් මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනක් ඉඳිකිරීමට රුපියල් මිලියන 4 ක පමණ මුදලක් වැයකර ඇති බව ද ඔහු පැවසුවා.
එහිදී එම එක් කුලුනකින් වර්ග කිලෝමීටර් තුනක ප්‍රදේශයක් ආවරණය කිරීම සිදු වෙන බවත් ඊට වඩා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද 15 ක් ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබෙනවා.
එමෙන්ම මෙම පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු එක ක්‍රමවේදයක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළා.
ඒ අනුව පූර්ව අනතුරු ඇඟවීමේ එක් පද්ධතියක් අසාර්ථක වුවහොත් අනෙක් විකල්ප ක්‍රමවේද 14 ක්‍රියාත්මක වියයුතු බවත් ඔහු කියා සිටියා.
අඳාළ ක්‍රමවේද සියල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් සකස් කර තිබෙන බවද ඔහු පැවසුවා.
එමෙන්ම කුලුනු අක්‍රිය වූවත් කුලුනු හරහා නිකුත් කළයුතු පණිවුඩය ප්‍රජාවට ලබාදීමට ගම් මට්ටමින් ක්‍රියාත්මක කෙරෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
තවද ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව එක්ව මේ සියලු ක්‍රමවේදයන් සාර්ථකව ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර අඳාළ චන්ද්‍රිකාව ඇමරිකා එක්සත් ජනපදයට අයත් සමාගමකට අයත් එකක් බවටත් මෙම චන්ද්‍රිකාව මඟින් සංඥා ලබා ගැනීමට අදාළව ශ්‍රී ලංකා රජය එම සමාගමට රුපියල් මිලියන හතක මුදලක් වාර්ෂිකව ගෙවා ඇති බවත් හෙළි වේ.