යෝගා කරන 75 හැවිරිදි මිත්තණියගේ වැඩ දැකලා මිනිබිරියත් පුදුම වෙයි - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ ඇත්ත කතාව
සැමියාගේ වියෝවෙන් පසු යෝගා අභ්‍යාසයට යොමුවී අද වනවිට 75 හැවිරිදි වියේදීත් ස්වාධීනව සහ ක්‍රියාශීලීව ජීවත් වන කාන්තාවක් පිළිබඳව ඉන්දියාවේ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමුව තිබේ. ඇයගේ මිනිබිරිය වන වෛද්‍ය සිම්රන් මුනෝට් විසින් සිය මිත්තණිය පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර ඇති අතර, එහි ඇය විවිධ යෝගා ඉරියව් පහසුවෙන් සිදුකරන ආකාරය දැක්වේ.
75 හැවිරිදි මෙම කාන්තාව පවසන්නේ වසර ගණනාවක් පුරා තම බර කිලෝග්‍රෑම් 50ක මට්ටමේ පවත්වාගෙන යන අතර, නිවසේ සියලුම දෛනික කටයුතුද තනිව සිදුකරන බවයි. ඇය පවසන පරිදි, වයස අවුරුදු 15දී විවාහ වී ඇති අතර පුද්ගලයින් 15 දෙනෙකුගෙන් සමන්විත ඒකාබද්ධ පවුලකට එක්වී තිබේ.
එවකට උදෑසන 5ට අවදි වී ආගමික කටයුතු සිදුකරන අතර, පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ආහාර පිළියෙල කිරීම, ඇඳුම් අතින් සේදීම, දරුවන් රැකබලා ගැනීම ඇතුළු කටයුතු රැසක නිරතවීමට ඇයට සිදුව තිබිණි.
එම කාර්යබහුල ජීවිතය හේතුවෙන් තමන් පිළිබඳව අවධානය යොමු කිරීමට කාලයක් නොතිබූ බවද ඇය සඳහන් කරයි. කෙසේ වෙතත්, මීට වසර 10කට පමණ පෙර සැමියා මියයාමෙන් පසු ඇගේ ජීවිතය වෙනස් වී තිබේ.
නිවසේ ඇතිවූ නිහඬ බවත් තනිකමත් හමුවේ අධෛර්යයට පත් නොවී ඇය නිවසේ වහලය මතට ගොස් ශරීරය දිගහැරීමේ ව්‍යායාම ආරම්භ කර ඇත. පසුව රූපවාහිනියෙන් දුටු යෝගා ඉරියව් අනුගමනය කරමින් ඇය ක්‍රමයෙන් යෝගා අභ්‍යාසයට හුරුවී තිබේ.
එක් යෝගා ඉරියව්වකින් ආරම්භ කළ එම ගමන පසුව දිනපතා සිදුකරන ජීවන රටාවක් බවට පත්වූ බව ඇය පවසයි. මේ වනවිට ඇය අලුයම 4ට අවදි වී ඇවිදීමට යන අතර, දිනකට දෙවරක් යෝගා අභ්‍යාසයේ නිරත වේ.
ඊට අමතරව කියවීම සහ අධ්‍යයනයේද නිරත වන ඇය නිවසේ පිරිසිදු කිරීම ඇතුළු සියලු කටයුතුද තනිව සිදුකරන බව සඳහන් කරයි. ඇගේ දියණියන් තිදෙනා සහ පුත්‍රයා විවිධ ප්‍රදේශවල මෙන්ම විදේශයන්හිද ජීවත් වුවද, තමන් සම්බන්ධයෙන් ඔවුන් කනස්සල්ලට පත්කරවීමට කිසිවිටෙකත් අවශ්‍ය නොවූ බව ඇය පවසයි.
ඇය පවසන්නේ හැකි සෑම අවස්ථාවකදීම ඇවිද යන බවත්, අසල්වැසියෙකුට කිසියම් උපකාරයක් අවශ්‍ය වූ විට ඒ සඳහාද සතුටින් සහභාගී වන බවත්ය. “අත් කාර්යබහුලව තබා ගැනීම මනසද සන්සුන්ව තබා ගැනීමට උපකාරී වන බව මම ඉගෙන ගත්තා.
ඒ නිසා වෙන්න ඇති වයස අවුරුදු 75ක් වුවත් ජීවිතය මන්දගාමී වී ඇති බවක් මට දැනෙන්නේ නැත්තේ. සෑම උදෑසනකම අලුත් දෙයක් ඉගෙන ගැනීමට මම තවමත් උනන්දුවෙන් අවදි වෙනවා” යනුවෙන් ඇය පවසා තිබේ.
ඇගේ මිනිබිරිය වන සිම්රන් මීට පෙරද සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කර තිබුණේ සිය 75 හැවිරිදි මිත්තණිය සෑම උදෑසනකම මෙම ව්‍යායාම සිදුකරන බවයි.
ඇය පෙන්වා දී ඇත්තේ ඒ සඳහා ජිම් එකක් හෝ විශේෂ අතිරේක ආහාර අවශ්‍ය නොවූ අතර, ඇයගේ දිගුකාලීන විනයගරුක ජීවන රටාව ඊට ප්‍රධාන හේතුවක් බවයි.