අහුංගල්ලේ වෙඩිල්ල 'ලොකු පැටී' ගේ වැඩක් බවට තොරතුරු
අහුංගල්ල, ගල්වෙහෙර ප්රදේශයේ නිවසක කාමරයක නිදා සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට අද (04) අලුයම ජනේලයෙන් වෙඩි තබා පලායාමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'අහුංගල්ලේ ලොකු පැටී'ගේ පාර්ශ්වයෙන් සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
බරපතල තුවාල ලැබූ අදාළ පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. වෙඩික්කරුවන්ගේ සැබෑ ඉලක්කය වී ඇත්තේ තුවාල ලැබූ පුද්ගලයාගේ පුත්රයා බවත්, මෙය ලොකු පැටීගේ සහෝදරයා ඝාතනය කිරීමට එරෙහිව සිදු කළ පළිගැනීමක් විය හැකි බවත් පොලීසිය පවසයි.
දින 3ක් ඇතුළත අහුංගල්ලෙන් වාර්තා වූ දෙවන වෙඩි තැබීම මෙය වන අතර, මේ සමඟ මෙවසරේ (2026) සංවිධානාත්මක අපරාධකරුවන් කළ වෙඩි තැබීම් ගණන 40 දක්වා ඉහළ ගොස් ඇත.
ඉන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ අතර, කරන්දෙණියේ සුද්දා සහ කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ 5 දෙනෙකු ඝාතනය කිරීමට ලොකු පැටීගේ කල්ලිය කළ සැලසුමක් වලාන දූෂණ මර්දන ප්රහාරක බලකාය විසින් ඊයේ (03) පස්වරුවේ කොස්ගොඩදී වටලා නතර කර ගන්නා ලදී.
එහිදී අවි පරීක්ෂා කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකුගේ පාදයට පොලීසිය වෙඩි තබා අත්අඩංගුවට ගත් අතර, අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට පත් එම වෙඩික්කරුට ඩුබායි සිට ඇමතුමක් ද ලැබී තිබිණි.
අද අලුයම අහුංගල්ලේදී වෙඩි තබා ඇත්තේ එම වැටලීමේදී පලාගිය අනෙක් සැකකරු විසින් බවට ද පොලීසිය වැඩිදුරටත් සැක කරයි.