ස්ටිකරයක් නැතිවත් බෝතලයකට ඩොලර් 7.99ක් - සුරාබදු ඩිජිටල් ස්ටිකර් ජාවාරම COPF කමිටුවේදී අතටම මාට්ටු
මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරය ඇලවීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මුදල් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සැක සහිත තොරතුරු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
මත්පැන් බෝතල් මත අලවන ආරක්ෂිත ස්ටිකරය මුද්‍රණය සඳහා වැය වන වියදම ඩිජිටල් ක්‍රමයට යොමු කළද අඩුවක් සිදු නොවී තිබෙන බව කාරක සභාව පෙන්වා දී ඇත.
කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳව ද විමර්ශනය කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් එම්. ජයන්ත සිල්වා මහතා සඳහන් කළේ, මත්පැන් බෝතල් සිසිල් කිරීමේදී ජලය ගැවීම හේතුවෙන් සමාගම් දෙකක නිෂ්පාදන සඳහා කඩදාසි ස්ටිකර් භාවිත කළ නොහැකි බැවින් ඩිජිටල් ස්ටිකර් ක්‍රමය යොදාගෙන ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, බෝතල්වලින් 80%කට වැඩි ප්‍රමාණයක ඩිජිටල් ස්ටිකර් භාවිත වන බවත්, එසේ වුවද එම ක්‍රමයටද බෝතලයකට ඩොලර් 7.99ක් වැයවන බවත්ය.
ස්ටිකර් මුද්‍රණය සඳහා මුලික වියදම ඩොලර් 5.99ක් ලෙස සඳහන් වන අතර, වරාය සහ තීරුබදු ගාස්තු ඇතුළත් කළ විට එය ඩොලර් 7.99ක් දක්වා ඉහළ යන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඩිජිටල් ස්ටිකර් ක්‍රමය භාවිතයේදී භෞතික ස්ටිකරයක් නොඇලවුණද, එම වියදමම අය කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේදී ප්‍රශ්න මතු විය.
කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කරමින් සඳහන් කළේ, ස්ටිකර් නොමැති ඩිජිටල් ක්‍රමයකදී වියදම සැලකිය යුතු ලෙස අඩුවිය යුතු බවත්, එසේ නොවීම පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත්ය.
ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා පවසා ඇත්තේ, ටෙන්ඩර් ගිවිසුම අනුව එම මුදලම ගෙවීමට නියමිත බවත්, ස්ටිකර් සැපයීමේ වියදම ගිවිසුම් කොන්දේසි මත තීරණය වන බවත්ය.
මෙම ක්‍රමවේදය 2022 වසරේ ආරම්භ කර ඇති අතර, වත්මන් ගිවිසුම 2027 ජනවාරි මාසයෙන් අවසන් වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව, නව ටෙන්ඩර් ක්‍රමවේදයක් හරහා මෙම ක්‍රමය යළි සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇති බවද කාරක සභාවේදී අනාවරණය විය.