පානදුරේටම හෙරොයින් බෙදූ අඹුසැමි යුවළක් කොටුවුණ හැටි [VIDEO]
පානදුර සහ ඒ ආසන්න ප්‍රදේශවල මහා පරිමාණ හෙරොයින් ජාවාරමක නිරතවූ අඹුසැමි යුවළක්, රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කළුතර අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කළුතර අපරාධ කොට්ඨාසයට ලද රහසිගත තොරතුරකට අනුව, පානදුර අලුත් පාලම අසලදී සැක සහිත ලෙස ගමන් ගත් වෑන් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී, එහි ගමන් ගත් කාන්තාවකගේ ගමන් මල්ල තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 500කට ආසන්න තොගයක්, ජාවාරම් මුදල් ලෙස රුපියල් හැටදහසක්, සහ ජාවාරම සඳහා භාවිතා කළ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගැනිණි.
විමර්ශනවලදී හෙළි වූයේ, මෙම යුවළ හොරේතුඩුව ප්‍රදේශයේ තාවකාලිකව කුලියට ගත් නිවසක සිට මෙම හෙරොයින් ජාවාරම සිදුකර ඇති බවයි. එසේම, මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින “පානදුරේ සුද්දා” නමින් හඳුන්වන පුද්ගලයකුගේ හෙරොයින් තොග මෙම යුවළ විසින් ලබාගෙන, එම තාවකාලික නිවසේදී ඇසුරුම් කර, පානදුර, වාද්දුව, මොරටුව, හොරේතුඩුව ඇතුළු ප්‍රදේශ රැසකට වෑන් රථය භාවිතයෙන් බෙදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 50 සහ 48 යන වයස්වල පසුවන අඹුසැමි යුවළකි. මෙම යුවළගෙන් පිරිමි සැකකරුට ඒ ගංජා ජාවාරම් සම්බන්ධයෙන් මීට පෙරද අධිකරණ කටයුතු පවතින බව විමර්ශනවලදී හෙළි විය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, පිරිමි සැකකරු සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
