හිටපු අගමැතිගේ මුණුපුරාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අධිකරණයක් විසින් ප්‍රබල දේශපාලනඥයෙකු වන ප්‍රජ්වාල් රේවන්නාට ගෘහ සේවිකාවක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු බවට තීරණය කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම දඬුවම 34 හැවිරිදි හිටපු ඉන්දීය මන්ත්‍රීවරයා වන ප්‍රජ්වාල් රේවන්නාට සෙනසුරාදා (02) නියම කර තිබේ. ඔහුට එරෙහි චෝදනා මුලින්ම මතු වූයේ 2023 වසරේදී ඔහු ඇතුළත් පැහැදිලි වීඩියෝ සිය ගණනක් සමාජ මාධ්‍යවල සංසරණය වීමත් සමඟය. මෙම වීඩියෝ හේතුවෙන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල විරෝධතා ඇති වූ බවද වාර්තා වේ.
ප්‍රජ්වාල් රේවන්නා, හිටපු ඉන්දීය අගමැති එච්.ඩී. දේවේ ගවුඩාගේ මුණුපුරා වන අතර, ඔහුගේ ජනතා දාල් (ලෞකික) පක්ෂය වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගතව කටයුතු කරයි. ඉන්දියාවේ මෙවැනි බලගතු දේශපාලන පසුබිමක් ඇති පුද්ගලයෙකුට මෙවැනි දඬුවමක් හිමිවීම ඉතා දුර්ලභ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
2024 අප්‍රේල් මාසයේදී, රේවන්නා සිය රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය භාවිතා කරමින් ඉන්දියාවෙන් පිටව ගොස් තිබුණි. මෙය සිදු වූයේ ඔහු ඇතුළත් ලිංගික අපයෝජන වීඩියෝ සිය ගණනක් සමාජ මාධ්‍යවල සංසරණය වීමෙන් පසුවය. එම අවස්ථාවේදී ඔහුගේ කාර්යාලයේ නිලධාරියෙකු පවසා ඇත්තේ එම වීඩියෝ විකෘති කරන ලද ඒවා බවයි. කෙසේ වෙතත්, රේවන්නා එම චෝදනා පිළිබඳව කිසිදු අදහසක් පළ කර නැත.
මාසයකට පසු ජර්මනියේ සිට ඉන්දියාවට පැමිණි රේවන්නා අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුට එරෙහිව තවත් ස්ත්‍රී දූෂණ නඩු දෙකක් සහ ලිංගික අතවර නඩුවක් ගොනු වී ඇති අතර, ඒ සියලු චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රේවන්නාට මෙම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිව ඇති බවද වාර්තා වේ.
